තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ කිසිදු අයෙකු ආරක්ෂා කිරීමට නොව රටත්, ජනතාවත් ආරක්ෂා කිරීමට බව ජනපති පවසයි.

ජුලි 03, 2019

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීමට තමා පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසමේ වාර්තාව අද ලැබුණු බවත්, පසුගිය යුගය තුළ එහි සිදුව ඇති වංචා සහ අක්‍රමිකතා පිළිබඳ එමඟින් අනාවරණය කර ඇති සියලු කරුණු තමා ඉදිරියේ දී පාර්ලිමේන්තුවටත්, ජනතාවටත් හෙළි කරන බවත් ජනාධිපතිතුමා පවසයි.

තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූයේ කිසිදු අයෙකු ආරක්ෂා කිරීමට නොව රටත්, ජනතාවත් ආරක්ෂා කිරීම වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිතුමා වංචාව සහ දූෂණය පිටුදැකීමේ දී ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් නීතිය ක්‍රියාත්මක කිරීම තම ප්‍රතිපත්තිය බව ද කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ මහවැලි ජනපදිකයන් වෙත ඉඩම් ඔප්පු අටදහසක් ප්‍රදානය වෙනුවෙන් අද (02) පස්වරුවේ පොළොන්නරුව, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ඉඩම් ඔප්පු ප්‍රදානෝත්සවය අමතමිනි.

ඉහළ දේශපාලන නායකයින් සිදු කරන කෝටි, ප්‍රකෝටි මුල්‍ය වංචා මෙන් ම අහිංසක ගොවියෙකුට ඉඩම් බලපත්‍රයක් ලබාදීමේ දී තම සාක්කු පුරවා ගැනීමට උත්සහ දැරීම ද තමාට ඉවසා සිටිය නොහැකි බව පැවසූ ජනාධිපතිතුමා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් 2015 ජනාධිපතිවරණයේ දී තමා මේ රටේ ජනාධිපති ධූරයට පත් කරගත්තේ එම සියලු ආකාරයේ වංචා සහ දූෂණ පිටුදැකීමට බව ද කියා සිටියේය. වංචාව හා දූෂණය පිටුදකිමින් රට ගොඩනැගීමට කටයුතු කරද්දි තමා බලයට පත්කර ගැනීමට සහය වූ අය මෙන්ම විරුද්ධ පක්ෂයේ අය ද තමාට විරුද්ධ වී සිටින බව පැවසු ජනාධිපතිතුමා ආණ්ඩුවේ ද විපක්ෂයේ ද කියා තමාට වෙනසක් නොමැති අතර සියලු වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන බවත්, අද තමාට ආණ්ඩුවේ අය මෙන්ම විපක්ෂයේ අය ද දොස් නගන්නේ දූෂණය සහ වංචාව පිටුදැකීමට ගෙන යන වැඩපිළිවෙළ නිසා බවත් කියා සිටියේය.

අප්‍රේල් 21 වන දා සිදුවීම පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති පරික්ෂණ කොමිසම පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ අද පරික්ෂණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක වන්නේ අදාළ කොමිෂන් සභා වාර්තාව අනුව බවයි. මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 07ක් පවරා තිබෙන අතර, තමා ද එම සිදුවීමට වගඋත්තරකරුවෙක් කර ඇත්තේ තමා විසින්ම මේ රටේ ගොඩනැඟු නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය හේතුවෙන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණය අපක්ෂපාතිව කටයුතු කර ලබාදෙන ඕනෑම තීන්දුවක් භාරගැනීමට තමා සූදානමින් සිටින බව ද කියා සිටියේය.

මෙම සියලු කටයුතු වෙනුවෙන් තමා ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කර තිබෙන අතර, කරුණු නොදැන ඇතැම් පිරිස් තමාට චෝදනා නඟන බවත්, කුමන බාධා හමුවේ වුව ද තම වගකීම රට වෙනුවෙන් ඉටු කරන බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය. එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තමා පිළිබඳ චෝදනා ඇත්නම් ඕනෑම අයෙකුට අධිකරණයට ගොස් ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කළ හැකි බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටුපස සිට උසාවි යන රාජ්‍ය නොවන සංවිධාන තමාට විරුද්ධව ගෙන යන ප්‍රචාර මෙන්ම රටට එරෙහි ගිවිසුම්වලට විරුද්ධ වූ විට ද ඇතැමුන් එල්ල කරන චෝදනා පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එම කිසිවක් සැලකිල්ලට නොගන්නා තමාගේ උත්සහය වී ඇත්තේ රටත්, ජනතාවත් ගොඩනැගීම පමණක් බවයි.

සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තමන්ගේම ඉඩමක හිමිකම හා නිවසක උරුමය ලබාදීමේ ප්‍රතිපත්තිය අනුව මහවැලි ජනපදිකයින්ට ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන 2016 වසරේදී ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ආරම්භ කෙරුණු අතර, සාර්ථකව ක්‍රියාත්මක වූ වැඩසටහන මේ වන විට අවසන් අදියරේ පවති. ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් කිහිප දෙනෙකු වෙත ඉඩම් ඔප්පු පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජයලාල් ද සිල්වා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, අනෝමා ගමගේ, ඉසුර දේවප්‍රිය, චාමර සම්පත් දසනායක, පී දයාරත්න යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර මහවැලි සී කලාපයේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය වෙනුවෙන් දෙහිඅත්තකණ්ඩියේ ඉදිකෙරුණු “මහවැලි මංසල” සංචාරක නිවාසය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. සොබාව සෞන්දර්යයෙන් අනූන මහවැලි කලාපවල අසිරිය විඳ ගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව සලසා දෙමින් සුවදායී නවාතැනක් ලෙස මෙම මහවැලි සංචාරක නිවාසය ඉදිකර තිබේ.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය