ජනපති පාර්ලිමේන්තුවට

අප්‍රේල් 05, 2019

ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (04) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ගිය ජනාධිපතිතුමා විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය.

එහි දී කැළිකසළ කළමනාකරණය සඳහා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය දේශපාලන පක්ෂ භේදයෙන් බැහැර වූ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ සකස් කෙරුණු වැඩපිළිවෙළක් විය යුතු බව කියා සිටියේ ය.

ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කැළිකසළ ගැටලුව විසඳීමේ ප්‍රමාදයක් සිදුව ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයන් සමඟ සකස්කරන සැලසුම් ක්‍රියාවට නැංවීමේ දී මතුකෙරෙන මහජන විරෝධතාවයන් බවයි. කැළිකසළ ඉවත් කිරීමේ නෛතික වගකීම පළාත් පාලන ආයතන වෙත පැවරෙන අතර එම ආයතන සතු සම්පත් ප්‍රමාණවත් නොවීම ද ගැටලුවක් වන අතර මෙම ප්‍රධාන ගැටලු දෙක ජාතික ප්‍රතිපත්තියක් තුළ කඩිනමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

උමාඔය ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එහි කටයුතු මේ වන විට 95 ක් අවසන් ව පවතින අතර මෙම වසර අවසන්වන විට ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිමා කිරීමට හැකිවනු ඇති බවයි.

මහවැලි ව්‍යාපාරයට අයත් ඉඩම් ලබාදීමේ දී දේශපාලන පක්ෂ භේදයෙන් කටයුතු කරන බවට එල්ලවන චෝදනා පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එම වැඩපිළිවෙළේ දී කිසිදු ආකාරයේ වංචාවක්, දූෂණයක් හෝ දේශපාලන පක්ෂ භේදයෙන් කටයුතු කිරීමක් සිදුව නොමැති බවයි.

මොරගහකන්ද ජලාශය හේතුවෙන් ඉඩම් අහිමිවූවන්ට මෙතෙක් ලබාදුන් විශාලම වන්දි මුදල ලබාදීමට පියවර ගත් අතර ඔවුන් නැවත පදිංචිකිරීම වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් අංගසම්පූර්ණ ගම්මාන ඉදිකර තිබෙන බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිතුමා කියා සිටියේ ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය කිසිවිටෙකත් දුර්වල කර නොමැති බවයි. රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අද ත්‍රිවිධ හමුදාව විශාල කැපවීමක් සිදුකරමින් සිටින අතර දේශපාලන නායකයන් කුමන අන්දමේ විග්‍රහ සිදු කළ ද උතුරු නැගෙනහිර ජනතාව ත්‍රිවිධ හමුදාව සමඟ ඉතා සමීපව කටයුතු කරන බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.

වඩා මිත්‍රශිලි පොලිස් සේවාවක් ස්ථාපිත කරමින් පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුදෙනාට තෘප්තිමත් මානසිකත්වයකින් යුතුව සිය රාජකාරි ඉටුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා අදහස් දැක්වූ අතර, මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී මෙන්ම අපරාධ මර්දන වැඩපිලිවෙළේ දී පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු අංශවල නිලධාරින් සිදුකරන කැපවීම ඇගැයීමට ලක් කළේය.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය