මත්ද්‍රව්‍යවලට එරෙහිව ජනපතිතුමන්ගේ සටන යටතේ කොකේන් කිලෝ 769 කට අධික ප්‍රමාණයක් විනාශ කෙරේ

අප්‍රේල් 01, 2019

කොකේන් කිලෝග්‍රෑම් 769 ක් ප්‍රසිද්ධියේ විනාශ කිරීම අද (අප්‍රේල් 01) පෙරවරුවේ කැලණියේ පිහිටි ගබඩා සංකීර්ණයේ දී සිදු කෙරිණි. පසුගිය වර්ෂ කිහිපය තුළ මෙරට ආරක්‍ෂක අංශ මඟින් අත්අඩංගුවට ගැනුණු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් මෙම කොකේන් තොගය රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකිවල දමා දියකර විනාශ කිරීම සිදු වූ අතර, එසේ රසායනිකයේ දිය කළ මත්කුඩු ටැංකි පොලිස් ආරක්ෂාව සහිතව අද දිනයේ ම පුත්තලම පිහිටි සිමෙන්ති සංස්ථා පරිශ්‍රයට රැගෙන ගොස් අධිතාප උදුන්වල දමා වාෂ්ප කිරීම සිදු කෙරේ.

ගෝනවල පිහිටි ඩීඑන්එස් ගබඩාව තුලදී මෙම කොකේන් තොගය විනාශ කිරීමේ ක්‍රියාවලිය සිදුවූ අතර එය නිරීක්ෂණය කිරීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ද පැමිණ සිටියහ. මෙය විනාශකාරී මත්ද්‍රව්‍ය වලට එරෙහිව සිදුකරන සටනේ ඓතිහාසික අවස්ථාවකි.

විනාශකාරී මත්ද්‍රව්‍ය රටෙන් තුරන්කිරීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් දැඩි ස්ථාවරයක් ගෙන තිබේ. එමෙන්ම මෙවැනි අන්තරායකාරී මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා මහත් පිටුවහලක් වන නවීන තාක්ෂණික උපකරණ ද ලබාගැනීමට පියවර ගෙන තිබේ. වර්තමානයේ මෙවැනි මත්ද්‍රව්‍ය හඳුනාගැනීම කිසිඳු එවැනි නවීන උපකරණයකින් තොරව සිදුකරනු ලබයි.

මෙම කොකේන් තොගය විනාශ කිරීම දැඩි ආරක්ෂාවක් යටතේ විනිවිද භාවයෙන් යුතුව සිදු කරන ලදි. මෙම ක්‍රියාවලියේ සියලුම අවස්ථා මහේස්ත්‍රාත්වරුන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සහ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ පුර්ණ අධීක්ෂණයෙන් සිදුකරනු ලැබිය.

මෙම අවස්ථාව මාධ්‍යවේදීන් හා මහජනතාවට ද දැකබලා ගැනීමට අවස්තාව සලසා දී තිබුණි.

මෙම අවස්ථාවට ගරු අමාත්‍යවරුන්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පති, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

මෙය රජය විසින් මත්ද්‍රව්‍ය මෙසේ විනාශ කරනලද දෙවන අවස්ථාව වේ. පසුගිය වසරේදීද (2018 ජනවාරි 15) අතිගරු ජනාධිපතිතුමන් ගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය කිලෝ 926 ක තොගයක් මෙසේ විනාශ කරන ලදී.