2019 පොලිස් මළල ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගී වේ

මාර්තු 30, 2019

පසුගිය සෙනසුරාදා (මාර්තු 30) දින පැවතී පොලිස් මළල ක්‍රීඩා උළෙලේ අවසන් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගී විය. මෙම ක්‍රීඩා උළෙලේ අවසන් උත්සවය බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි. මෙය ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වන ලද 82 වන මළල ක්‍රීඩා උළෙලයි.

අවසන් දින උළෙලට සපැමිණි ආරක්‍ෂක ලේකම්තුමන්, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පිළිගන්නා ලදී.

මෙහිදී අදහස් දක්වමින් ආරක්‍ෂක ලේකම්තුමන් පොලිස් නිලධාරීන්ගේ ක්‍රීඩා කුසලතා ඔප්නැංවීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරනු ලබන සේවය ප්‍රසංසාවට කළේය. ශ්‍රී ලංකා පොලිසිය සතු ක්‍රීඩකයින් බොහෝ අවස්ථාවල ජාතිය නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා තරඟාවලි සඳහා ද සහභාගී වී රටට කීර්තියක් අත්කර දී ඇති බව ද එතුමන් පැවසිය.

රටේ ක්‍රීඩා සංවර්ධනය සඳහා ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්ගේ දායකත්වය විශාල පිටුවහලක් බව තමන් නිරීක්ෂණය කර ඇති බව එතුමන් වැඩිදුරටත් පැවසිය. ක්‍රීඩා ක්‍ෂේත්‍රය තුල පොලිසියේ ඇති කැපවීම ද මෙහිදී ඔහු අගය කළේය.

මෙහිදී විවිධ ක්‍රීඩා ඉසව් වලින් දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලේකම් තුමන් අතින් සහතික සහ කුසලාන පිරිනමන ලදී. මෙම අවස්ථාව සිහිවීම සඳහා පොලිස්පතිතුමන් විසින් ආරක්‍ෂක ලේකම්තුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ද සහභාගි වූහ.