ජීවිත අවදානම නොතකා තමා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙන්නේ ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් බව ජනපති පවසයි

ජුලි 01, 2019

රටත්, ජාතියත් විනාශ කරමින් තිබෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඉකුත් සිව් වසර පුරා තමා ගෙන ගිය දැවැන්ත වැඩපිළිවෙළට අබපියල්ලක සහයක් ලබා නොදුන් පිරිස් අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩී නිති ක්‍රියාත්මක කිරීමට ගත් පියවර හමුවේ තමා වැරදිකරුවෙකු ලෙස රටට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.

මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ ලක්‍ෂ 03 ක තරුණ ජීවිත බේරා ගැනීමට හෝ එම පවුල්වල සාමාජිකයන් දුකින් මුදාගැනීමට බලයේ සිටිය දී හෝ විපක්ෂයේ සිටියදී ඔවුන් ඉටුකළ කාර්යය කුමක් දැයි තමා එම සියලු දෙනාගෙන් ප්‍රශ්න කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අද (01) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ බස්නාහිර පළාත් සමුළුව අමතමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ජීවිත අවදානම නොතකා තමා මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට නායකත්වය ලබා දෙන්නේ ජාතිය සහ මතු පරපුර වෙනුවෙන් බවයි.

ජාතියක් විනාශ කිරීමට හැකි පහසුම දේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා උතුම් ශ්‍රී ලංකා මාතෘ භූමිය ද තවත් මෙක්සිකෝවක් වීමට ඉඩ නොතබා මතින් නිදහස් රටක් සංකල්පය ප්‍රවර්ධනයටත්, ව්‍යාප්තියටත් කටයුතු කරමින් රටත්, ජාතියත් ගලවා ගැනීමට දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින්, පාසල් සිසුන් ඇතුළු සියලු පුරවැසියන් තම වගකීම් ඉටුකළ යුතු බව ද ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ගත් තීරණය හමුවේ ඇතැම් ජාත්‍යන්තර සංවිධාන ද අද ශ්‍රී ලංකාවට තර්ජන එල්ල කරමින් සිටින අතර, රටේ ආර්ථික සංවර්ධනයට ජාත්‍යන්තර සංවිධානවල සහය අවශ්‍ය නමුත් රටේ ස්වාධීනත්වයට අත ගැසීමට හෝ එම ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල කිරීමට එම කිසිවෙකුට අයිතියක් නොමැති බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

නිති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් පිළිබඳ තොරතුරු ද මේ වන විට රහසක් නොවන අතර මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගැනීමට දේශපාලනඥයන් කී දෙනෙකු තම වගකීම ඉටුකරනවාදැයි අද ප්‍රශ්න සහගත බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදය අතර සම්බන්ධතාවය ද පැහැදිලි කළ ජනාධිපතිතුමා කියා සිටියේ පසුගිය අප්‍රේල් 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයට ද ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ සම්බන්ධතාවක් තිබෙන බවයි.

මේ අතර මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව පිළියෙල කළ මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තාව ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

මෙතෙක් රටේ පහළ වූ කිසිදු නායකයෙකු ඉටුනොකළ කාර්යභාරයක් ඉටුකරමින් මත්ද්‍රව්‍ය උවදුරෙන් ජාතිය ගලවා ගැනීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර මෙහිදී මහා සංඝරත්නය, මැති ඇමතිවරු ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ දැඩි ඇගැයීමට සහ උපහාරයට ලක් විය.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද, රාජ්‍ය නිලධාරින්, පාසල් සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරින්, ප්‍රජා සංවිධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයන්, බන්ධනාගාර රැඳවියන්, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පිරිස් මෙන්ම මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරයේ රියදුරන්, රිය සහායකයන් ඇතුළු සමාජයේ විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් විශාල පිරිසක් මෙම සමුළුවට සහභාගී වි සිටියහ.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය