ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති සම්පාදනය කිරීමට උත්සුක නොවුණු ඇතැමුන් මරණීය දණ්ඩනය වැළැක්වීමේ නීති පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ කරනවා – ජනපති අවධාරණය කරයි.

අගෝස්තු 05, 2019

අප්‍රේල් 21දා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පසුව ත්‍රස්තවාදී ව්‍යාපාර මුලිනුපුටා දැමීමට නව නීති සැකසිය යුතු බවට ජාති ආගම් භේදයෙන් තොරව සමාජය තුළින් මතයක් පැමිණිය ද මාස තුනක් ඉක්මවූවත් එම නීති ගෙන ඒමට කටයුතු නොකළ ඇතැම් පිරිස් මරණීය දණ්ඩනය වැළැක්වීමේ නීති කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ කරන බව ජනපති පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය නිවාරණය තේමා කර ගනිමින් පැවති වයඹ පළාත් අන්තර් පාඨශාලයීය නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් පිළිගැන්වීම වෙනුවෙන් අද (02) පස්වරුවේ කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවය අමතමිනි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව ලෝක නායකයන් නැගී නොසිටින්නේ ඔවුන්ගේ ජීවිත අවදානම හෝ ආණ්ඩු බලය පෙරළා දැමීමට එම ජාවාරම්කරුවන්ට ඇති හැකියාව පිළිබඳ දැනුවත්කම නිසාවෙන් බවත් එය දැන මෙම වැඩපිළිවෙළ ආරම්භ කළ අතර කුමන බාධා පැමිණිය ද තම සටන අත් නොහරින බවත් ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙන යන වැඩපිළිවෙළ අධෛර්යමත් කිරීමේ අරමුණින් තමන්ට එරෙහිව නින්දා අපහාස සිදුකරන්නේ, දේශපාලනඥයින් විසින් ශක්තිමත් කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මතු දරු පරපුර බේරාගැනීමට අද දවසේ තම වගකීම ඉටු කිරීමට කිසිසේත් පසුබට නොවන බව ද පැවසීය.

ගරු ජනාධිපතිතුමාගේ මතින් නිදහස් රටක් බිහි කිරීමේ උදාර සංකල්පයට අනුව මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කර ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව බලගන්වා මත්ද්‍රව්‍ය විරෝධී අනාගත පරපුරක් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාවට නැංවුණු අතර, ඊට සමගාමීව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාගේ මගපෙන්වීමෙන් ‘මතින් මිදෙමු – තුටින් හිඳිමු’ තේමාව යටතේ මෙම තරගාවලි සංවිධානය කර තිබිණි.

පාසල්, කොට්ඨාස හා පළාත් මට්ටමින් පැවති තරගාවලියේ දී ගද්‍ය, පද්‍ය, ගේය පද රචනා, කෙටි කතා, චිත්‍ර, කථික, කෙටි නාට්‍ය, කෙටි චිත්‍රපට හා ආදර්ශ පාඨ නිර්මාණ යන අංග 09ක් ඔස්සේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තරග පවත්වන ලදී.

එම තරග අංශවලින් ජයග්‍රහණය හිමිකරගත් සිසු සිසුවියන් 1036 දෙනෙකුට සම්මාන සහතික හා ත්‍යාග පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, පා.මන්ත්‍රීවරු වන දයාසිරි ජයසේකර, එස්.බී. නාවින්න, ශාන්ත බණ්ඩාර, හිටපු පළාත් අමාත්‍යවරු වන අතුල විජේසිංහ, ධර්මසිරි දසනායක. චම්පික රාමනායක, ප්‍රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විජිත බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු විදුහල්පතිවරු, දෙමව්පියන් සහ සිසු දරුවන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මත්ද්‍රව්‍ය නිවාරණය තේමා කර ගනිමින් පැවති වයඹ පළාත් අන්තර් පාඨශාලයීය නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් පිළිගැන්වීම වෙනුවෙන් පැවති උත්සවය අමතා ජනාධිපතිතුමා කළ කතාව – 2019-08-02 දින කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය

මතින් මිදී සතුටින් ජීවත්වීමට, මතින් නිදහස් රටක් ගොඩනැඟීම, තේමාවන් මුල් කරගෙන ගෙනියන පුළුල් ජාතික වැඩසටහනේ, තවත් එක් ඉතාමත් වැදගත් අවස්ථාවක් ලෙස වයඔ පළාතේ දරුවන් ප්‍රමුඛව ඔබ සියලු දෙනා හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටුවෙනවා. අපේ හාමුදුරුවනේ ලෝකයේ හොඳ සහ නරක ඔබ වහන්සේලා, අනිකුත් පූජකතුමන්ලා දේශනා කරනවා, හොඳ නරක දෙක සදාකාලිකව පවතින දෙයක්. ඒ වගේම තමයි නරකයි කියලා අපි කතා කරන මත්ද්‍රව්‍ය, අද ඊයේ බිහිවෙච්ච දෙයක් නෙවෙයි. අපි බෞද්ධයින් විදියට උදේ සවස පන්සිල් ගන්නවා. පන්සිල් රකින්න උත්සාහ කරනවා. පන්සිල් පදවලට ඇතුළත් කරලා තියෙනවා සුරාමේරය. එහෙමනම් අපි තේරුම් ගත යුතුයි අද ඊයේ නෙවෙයි මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය මීට වසර දෙදහස් හයසියයකට පෙර, තිබූ දෙයක් බව බුදුන් වහන්සේගේ ධර්ම දේශනයේ එදා ඇතුළත් කළේ, එදා සමාජය තුළ මත්ද්‍රව්‍ය ප්‍රබල ප්‍රශ්නයක්ව තිබිලා තියෙන නිසා. ඒ වගේම තමයි අපේ රටේ 30 , 40, දශකය වැනි කාල පරිච්ඡේද ගත්තොත් ප්‍රධාන වශයෙන්ම මේ රටේ ජාතික සටන් ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨ නායකයෙක්, අනගාරික ධර්මපාලතුමා. මත්ද්‍රව්‍යවලට විරුද්ධව දැඩිව සටන් කරපු කෙනෙක්. ඒ වගේම එක් එක් යුගවල මත්ද්‍රව්‍යවලට විරුද්ධව, මර්දනයට, පාලනයට, නිවාරණයට ජාතික වශයෙන් වගේම, ඇතැම් විට අන්තර්ජාතික වශයෙන් පුළුල් වැඩසටහන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ග්‍රාමීය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ සෑම වැඩසටහනකම අරමුණ යහපත් සමාජයක් ගොඩ නැගීම. යහපත් සමාජයක් ගොඩ නැගීමේ කාර්යයේදී අද මත්ද්‍රව්‍ය ප්‍රබල අභියෝගයක් වී තිබෙන බව කවුරුත් දන්නවා.

මම මත්ද්‍රව්‍යවලට එරෙහිව සටන පටන් ගත්තේ ජනාධිපතිවරයෙක් වෙන්න කලින්. මම පාර්ලිමේන්තුවට ගියේ 1989 දී විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුළුල් ජාතික වැඩසටහන් කරන ඇඩික් ආයතනයට මම සම්බන්ධ වුණා. ඇඩික් ආයතනය රට පුරා පවත්වපු මත්ද්‍රව්‍ය විරෝධී රැස්වීම්වලට මම කථිකයෙක් විදියට සහභාගී වුණා. 89 හෝ 90 දී මට හොඳට මතකයි ඇඩික් ආයතනය සම්බන්ධ කරපු අරක්කු, සිගරට් වලට විරුද්ධව රැස්වීමක් තිබුණා, කුරුණැගල නගරයේ ඔරලෝසු කණුවට එහා පැත්තේ මාර්කට් එක ඉස්සරහ තියෙන පුංචි බිමේ. මම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ඇවිල්ලා මත්ද්‍රව්‍යවලට විරුද්ධව එදත් කතාවක් කළා. මේ ප්‍රශ්නය දරුවනි, දෙමව්පියනි, හිතවතුනි, මිත්‍රවරුනි, අපි වඩාත් පුළුල් ලෙස අවබෝධ කරගත යුත්තේ සමාජයේ තිබෙන විෂම තත්ත්වයන්වලට මත්ද්‍රව්‍ය ප්‍රබල ලෙස බලපානවා කියන එක ඔබ දන්නවා. අපි මේ වැඩසටහන් තුළින් බලාපොරොත්තු වෙන අරමුණ පැහැදිලි ලෙසම අපේ දරුවෝ බේර ගන්න එක . විශ්ව විද්‍යාලවල උපකුලපතිවරු, ආචාර්ය, මහාචාර්යවරු මාත් සමඟ කියනව විශ්ව විද්‍යාලවලට ඇවිල්ලා නොමිලේ මොන තරම් මත්කුඩු, මත් පෙති බෙදාගෙන යනවද කියලා. මත්පෙති මිලියන 18 අහුවුණේ ගිය මාසේ. ඒ බෝට්ටුවේ, මත්කුඩු කිලෝ 270ක් තිබුණා.

නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. මිලියන් 18 කියන්නේ පොඩි ගාණක්ද. එතකොට මේවා එන්නේ කොහාටද. විශ්ව විද්‍යාලවලට, කාර්මික විද්‍යාලවලට, වෘත්තීය පුහුණු ආයතන වලට, නිපුණතා සංවර්ධන තරුණ මධ්‍යස්ථානවලට, පාසල්වලට.

මත්පෙති, මත්කුඩු, හෙරොයින්, හසීස්, මර්ජුවානා, අයිස්, ඉතාමත් විෂ මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවෝ පාසල් දරුවෝ සම්බන්ධ කරගෙන බෙදා හරිනවා. දරුවන්ගේ කෑම පෙට්ටියේ යවනවා. පොළොන්නරුව ප්‍රදේශයේ උසස් පෙළ සිසු දරුවෙක් පොලීසිය අත්අඩංගුවට ගත්තා, කොට කලිසමේ නවලා තියෙන වාටියේ යටින් කපලා මත්ද්‍රව්‍ය දාලා බෙදා හරින්න ඒ දරුවව පාවිච්චි කරලා තිබුණා. අද සමාජ වෙබ් අඩවි, සෝෂල් මීඩියා, කිසිම දැනහැනුම්කමක් නැහැ, කාගේ කවුද කියලා දන්නේ නැහැ, දැනුම් දෙනවා, අහවල් දවසේ , අහවල් ස්ථානයේ, සන්ධ්‍යාවේ 7 ට, රාත්‍රි 10 ට, සාදයක් පැවැත්වෙනවා එන්න කියලා. ඔබ දකිනවා පොලිසිය අත්අඩංගුවට ගන්න අවස්ථාවල් කොච්චරද. කුරුණෑගල ප්‍රදේශයේත් එහෙම වෙලා තියෙනවා. පොළොන්නරුව ප්‍රදේශයෙත් වෙලා තියෙනවා. පුත්තලම, හලාවත ප්‍රදේශයෙත් වෙලා තියෙනවා. කිසිම දවසක නොදැක්ක තරුණ, තරුණියන් එකතු වෙනවා. ආපුවහම ඉස්සලම ශාලාවට ඇතුළු වෙන තැනම, ඇතුළු කරගන්නකොටම, වෙල්කම් ඩි්‍රන්ක් එකක් දෙනවා. හැබැයි දන්නේ නැහැ ඒ බීම වීදුරුවට පෙත්තක් දාලයි කියලා. ටික වෙලාවක් යනකොට ඒ තරුණ, තරුණියෝ දන්නේ නැහැ සිදුවෙන්නේ කුමක්ද කියලා. ඒ දරුවන්ගේ දෙමව්පියෝ දන්නේ නැහැ දරුවෝ කොහෙද ගියේ කියලා. මේ විදියට මේ රට විනාශ කරන විට අපිට බලාගෙන ඉන්න පුළුවන් කමක් නැති නිසයි අපි මේ වැඬේට බැස්සේ. මේක අපේ පුද්ගලික කාර්යයක් නොවේ. ලෝකයේ හොඳ සහ නරක දෙකෙන් නරකයි කියන දේ සම්පූර්ණයෙන්ම ඉවත්කරන්න කිසි දවසක බැහැ . මත්ද්‍රව්‍යත් කිසි දවසක සම්පූර්ණයෙන් ඉවත් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ තුළ බලාපොරොත්තු වෙන්නේ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන මේ දේවල් කොහොමද පාලනය කරන්නේ. වඩා නරක දේ කොහොමද මර්දනය කරන්නේ. මේ පිළිබඳව දැනුවත් කරලා කොහොමද නිවාරණය පටන් ගන්නේ, ප්‍රතිකාර ශක්තිමත් කරන්නේ. අද අපේ හිර ගෙවල් පිරිලා . ලංකාවේ හිරගෙවල්වල ඉන්න පුළුවන් ඉඩ කඩ තියෙන්නේ පුද්ගලයින් 11,000 ට.

අද ඉන්නවා 24,500 කට වැඩිය. එයින් 60%කට වැඩිය සෘජුවම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්ත, නැත්නම් සිර භාරයේ ඉන්න අය, නැත්නම් සැක පිට නඩු විභාග කරන අය. අනික් 40% මංකොල්ලකෑම්, පාතාලය, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, බරපතළ අපරාධ කළ අය. ඒවයිනුත් 90%ක් සිදුකරලා තියෙන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා. මිනිසුන්ගේ මිනිස්කම් ඉවත් වෙලා තිරිසන් ගති මතුවෙන්නේ මත්ද්‍රව්‍ය නිසා. පවුල් ජීවිත අවුල් වීම, හිඟමනට වැටීම, රෝගී වීම, ශරීරය විරූපී වීම, සමාජය ප්‍රතික්ෂේප කිරීම මේ සියල්ලත් එක්ක ඉක්මණින් මරණයට පත්වීම මේ විෂ මත්ද්‍රව්‍ය නිසා සිදුවෙනවා.

අපේ රටේ හිරගෙවල් පිරිලා වගේම, මත්ද්‍රව්‍යවලට ගොඳුරු තරුණ පිරිස් පුනරුත්ථාපනය කරන පුනරුත්ථාපන කඳවුරුත් පිරිලා. අපිට පුනරුත්ථාන කඳවුරු තියෙන්නේ 11 යි. මම පහුගිය දවසක සල්ලි වෙන්කළා ඒවා ලොකු කරන්න. හිරගෙවල් පිරෙනවා නම් මත්ද්‍රව්‍ය නිසා පුනරුත්තාපන කඳවුරු මදියි කියලා තවත් අරින්න වෙලා නම් දෙමව්පියනි, දරුවනි අපි ඉන්නේ කොතනද? මේ තත්ත්වය අපි තේරුම් ගන්නට ඕන. ඒ නිසා මෙයින් මිදෙන්න අපි සෑම කෙනෙක්ම උත්සාහ කරන්න ඕන. මේ වැඩපිළිවෙළ ශක්තිමත් කරන්න පාසල් දරුවා තමා හොඳම පණිවිඩකරුවා. සමාජය, ගෙදර, නිවස, ගම පාසල් දරුවෝ කියන දේට කන් දෙනවා. දරුවෙකුගේ තිබෙන ඒ සුන්දර අහිංසකත්වය, පිවිතුරු බව, පවිත්‍රත්වය, නිර්මල බව තුළ දරුවා සමාජයට යහපත් දෙයක් ගෙනියන්න ඉතාම හොඳ පණිවිඩකරුවෙක්. ඒ නිසා තමා මේ දරුවෝ ශක්තිමත් කරන්නේ මේ වැඩපිළිවෙළට. තරඟ පවත්වලා තෑගි දීලා, සහතික දීලා, නායකත්වයක් කරන්න මේ වැඩපිළිවෙළේ. ඒක නිසා ඒ නායකත්වය දරුවන් ගන්න. ඔබ ඔබේ නිවස අසල්වැසියන්, හිතවතුන්, මිත්‍රයින් දැනුවත් කරන්න.

අද මම පත්තරේ දැක්කා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදිකරුවන් වී මරණීය දණ්ඩනය නියම වී සිටින අය මරණීය දණ්ඩනයෙන් බේරාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ළඟදීම පනත ඉදිරිපත් කරනවා කියලා. මට පහුගිය දවසක කිව්වා මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දවස මම ජනාධිපතිවරයා විදියට ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත්කරනවා කියලා. ගිය සතියේ ඇමරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවුරුදු 16 කට පස්සේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළා. මොනවටද ඒ? ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මත්ද්‍රව්‍ය, මත්කුඩු, මත්පෙතිවලට වැරදිකරුවන් වූ අයට. මරණීය දණ්ඩනයට මම අත්සන් කරපුවහම මම ගෝත්‍රිකයි මම නොදියුණු මිනිහෙක් කියලා මට කියන්න පටන් ගත්තා. එහෙමනම් ඇමරිකාවේ ජනාධිපතින් ගෝත්‍රිකයෙක්, නොදියුණු සමාජයේ කෙනෙක්.

ඉන්දියාවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. සිංගප්පූරුවේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වෙනවා. මරණීය දණ්ඩනය වළක්වගන්න මේ තරම් පාර්ලිමේන්තුවේ ඉන්න ලොකු මහත්වරුන්ට තියෙන හදිස්සිය මොකක්ද කියන එකයි මට ප්‍රශ්නේ.

පසුගිය අප්‍රේල් 21 ඇතිවෙච්ච ත්‍රස්ත ප්‍රහාරයෙන් පස්සේ රට තුළ මතයක් ඇතිවුණා සිංහල, දමිළ මුස්ලිම් සියලු ජනතාවගේ පැත්තෙන්, උගතුන්, බුද්ධිමතුන්ගේ, වියතුන්ගේ දේශපාලඥයින්ගේ පැත්තෙනුත් ත්‍රස්තවාදී ව්‍යාපාර ඇති නොවන්නට අලුත් නීති සකස් කළ යුතුයි. නීති සම්මත කළ යුතුයි කියලා. රටේ සාමාන්‍ය ජනතාවත් කතා කළා. දැන් මාස තුනහමාරක් ගිහිල්ලා ඒ නීති නැහැ තවම. මරණීය දණ්ඩනය වළක්වන නීති පාර්ලිමේන්තුවට එනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ කොච්චර ශක්තිමත් ද දරුවනේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ශක්තිමත් කරන්නේ දේශපාලනඥයෝ. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ මුදලින් සියලුදෙනා අල්ලගෙන ඉන්නවා. මේවා පුළුල් ව්‍යාපාර. නීති විරෝධී මත්ද්‍රව්‍ය මර්දනය කරන්න ලෝකයේ බොහෝ දේශපාලන නායකයින් අත ගහන්නේ නැහැ. ඒකට හේතුව මරණයට එහෙම නැත්නම් ආණ්ඩු බලයෙන් පෙරළා දැමීමට, ඔහුව දේශපාලනයෙන් අතුගා දැමීමට බිය නිසා මම ඒ දේ හොඳට දැනගෙන තමා මේ දේට අතගහලා තියෙන්නේ.

අද සමාජ වෙබ් අඩවිවල මට විරුද්ධව කරන නින්දා අපහාස උපහාස 90% ක පිටිපස්සේ තියෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගේ සල්ලි. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් කෝටි ගණන් සල්ලි අද වියදම් කරනවා මට විරුද්ධව. මේක හුඟදෙනෙක් තේරුම් අරගෙන නැහැ. අප්‍රේල් 21 දේ නැවත සිදුනොවීමට වහ වහා නීති සකස් කරගත යුතුයි කියලා සාකච්ජා වූ මතය සමාජය යටපත් කරමින් මරණීය දණ්ඩනය වළක්වන නීතිය පාර්ලිමේන්තුවට ගෙනකොට සතුටු වෙන්නේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් ඉඳලා ගමේ දරුවන් විනාස කරන කුඩු විකුණන මිනිහා. මේක ඔහුගේ ජයග්‍රහණයක්. දේශපාලන පක්ෂ භේදයෙන් තොරව ලොකු ලොක්කෝ මහ පාරට බැහැලා කෑගහන්න පටන් ගත්තා මරණීය දණ්ඩනය එපා කියලා හරි අනුකම්පාව. හැබැයි මේ දරුවන්ට කවුද අනුකම්පා කරන්නේ. මත්ද්‍රව්‍ය නිසා තරුණ ගැහැණු දරුවන්ගේ ජීවිත විනාස කරපු, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, පාතාලය, අපරාධවලට ගොඳුරු වූ අයට කවුද අනුකම්පා කරන්නේ. නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට අනුකම්පා කරලා ඔවුන් බේරාගන්න අද ඉදිරිපත් වෙලා තියෙනවා. මේක අපි තත්ත්වය තේරුම් ගන්නට ඕන. අපි අපේ වගකීම ඉෂ්ට කරමු.

එන අභියෝගවලට අපි මුහුණ දෙමු. රටක් ගොඩනගන්න, රටක් හදන්න, යහපත් දේ කරන විට ඊට අභියෝග බොහෝම එනවා.

ලෝකයේ වැඩිපුරම නින්දා අපහාස විඳලා තියෙන්නේ බුදුන් වහන්සේ. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රසංසා සුඛංච දුක්ඛං මේ අටලෝ දහමට අපි හැමකෙනෙක්ම යටත්. ඒක නිසා අපි යහපත් දෙයක් කරන්න හදන විට එයට එන අභියෝගවලට සැලෙන්න ඕන නැහැ. අපි යායුතු ගමන යායුතුයි. ඒ නිසා මතින් නිදහස් රටක්. ඒ වගේම “මතින් මිදී සතුටින් සිටිමු” මේ වැඩසටහන වයඹ පළාත විදියට ඔබේ එක්වීම ඔබේ සහයෝගය මා ඉතාමත් අගය කරනවා. මතින් නිදහස් සමාජයක් ගොඩනගන්න, පාසල් දරුවෝ, විශ්වවිද්‍යාලේ අධ්‍යාපනය ලබන දරුවෝ බේරගන්න හෙට උපදින දරුවන් බේරගන්න යහපත් රටක්, යහපත් සමාජයක් හදන්න අප සියලු දෙනාම එක්වෙමුයි කියන ගෞරවනීය ඉල්ලීම කරමින් පේෂල ජයරත්න ආණ්ඩුකාරතුමා ඇතුළු මැති ඇමතිවරුන්, සියලු රාජ්‍ය නිලධාරි මහත්මහත්මීන්, මත්ද්‍රව්‍ය මර්දනය කරන ත්‍රිවිධ හමුදාව සියලු අංශ, දෙමව්පියන්, දරුවන් මීට අවශ්‍ය නායකත්වය දෙන විදුහල්පතිවරු ගුරුමහත්ම මහත්මීන් මේ කටයුතුවලදී අනුශාසනා කරන අපේ වන්දනීය පූජනීය මහා සංඝරත්නය ප්‍රමුඛ ව සියලුම පූජකතුමන්ලා ඇතුළු ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තූතිය පුදකරමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය