ජනපති කාම්බෝජයේ සිව්දින රාජ්‍ය සංචාරයක් අරඹයි

අගෝස්තු 08, 2019

ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර පවතින දිගුකාලීන සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කරමින් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කාම්බෝජියාවේ රාජ්‍ය සංචාරයකට එක් ව සිටී.

ඒ කාම්බෝජ රජයේ විශේෂ නිල ආරාධනය ක් පරිදි ය.

අද පෙරවරුවේ Phnom Penh ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ ජනාධිපතිතුමා කාම්බෝජියා නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය මාළිගාවේ අමාත්‍ය Samdech Chaufea Veang Kong Som Ol මහතා ඇතුළු එරට රජයේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.

සිය සංචාරය තුළදී ජනාධිපතිතුමා කාම්බෝජියා රජු වන Norodom Sihamoni මැතිතුමා හමුවීමට නියමිත අතර කාම්බෝජියා අග්‍රාමාත්‍ය Hun Sen මහතා ඇතුළු එරට රජයේ ඉහළ නියෝජිත පිරිසක් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වීමට නියමිත ය.

දෙරට අතර ආර්ථික, වෙළඳ, සංචාරක මෙන්ම බෞද්ධාගමික සබඳතා පුළුල් කරගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුවනු ඇති අතර ඒවාට අදාළ නව ගිවිසුම් කිහිපයකටද එළඹීමට නියමිත ය.

මේ අතර ජනාධිපතිතුමා අද පස්වරුවේ ශ්‍රී ලංකා කාම්බෝජියා ව්‍යාපාරික සමුළුවේ සමාරම්භක සැසිය සඳහා ද එක්වීමට නියමිත ය.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය