ත්‍රිකුණාමලයේදී පැවති නාවික හමුදා නිලධාරීන් විසිරයාමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනපතිතුමන් සහභාගි වේ

ජුනි 23, 2019

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ (NMA) සෙනසුරාදා (2019 ජූනි 22) දින පැවති නාවික හමුදා විසිරයාමේ උත්සවය සදහා අතිගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමන් සහභාගී විය. මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතාද සහභාගී විය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ජනාධිපතිතුමන් ත්‍රිකුණාමලයේ පිහිටි ප්‍රධානතම නාවික හමුදා පුහුණු කදවුරේදී මහත් හරසරින් පිළිගන්නා ලදී. එහිදී ජනපතිතුමන් වෙත සම්මාන මුරයක් ද පිළිගන්වන ලදී.

නාවික හමුදා සම්ප්‍රදායන්ට හා චාරිත්‍රයන්ට අනුකුලව පසුගිය දා සන්ධ්‍යාවේ පැවති වර්ණවත් විසිරයාමේ පෙළපාලියේදී සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ (KDU) පාඨමාලා අංක 32 (තාක්ෂණික),පාඨමාලා අංක 33 හා කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 59 ට අයත් මධ්‍ය නිලධාරීන් 89 දෙනෙකු ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අධිකාරියට පත්කරන ලදී. අධිකාරියට පත් නව නිලධාරීන් අතුරින් 19 දෙනෙකු සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ (KDU) පාඨමාලා අංක 32 (තාක්ෂණික), නිලධාරීන් 44 දෙනෙකු සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ (KDU) පාඨමාලා අංක 33 හා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 59 ට අයත් නිලධාරීන් 26 දෙනෙකුද වේ.

පුහුණුවීම් තුලදී දක්ෂතා දැක්වූ තෝරාගන්න ලද මධ්‍ය නිලධාරීන්හට ජනාධිපතිතුමන් විසින් සම්මාන ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින්, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, ගුවන් හමුදාපති, පොලිස්පති, ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, විසිර යන ලද නාවික නිලධාරීන්ගේ පවුල් වල සාමාජිකයින් සහ නාවික භටයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.