හදට හදක් භාරකාර අරමුදලේ නියෝජිතයින් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අගෝස්තු 20, 2019

හදට හදක් භාරකාර අරමුදලේ නියෝජිතයින් සදුදා (අගෝස්තු 19) දින සාකච්චාවක් සදහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමුවිය.

හදට හදක් භාරකාර අරමුදලේ කාර්යයන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය රෝහල සමග ඒකාබද්ධව සිදුකිරීම පිලිබදව යෝජනාවක් නියෝජිත පිරිස විසින් භාර දෙන ලදී.

ශල්‍යකර්ම හා වෙනත් චිකිත්සක ප්‍රතිකාර සඳහා මූල්‍ය ආධාර අවශ්‍ය හෘද රෝගීන්ට උපකාර කිරීම සඳහා හදට හදක් භාරකාර අරමුදල 2014 වර්ෂයේදී සංස්ථාගත කරන ලදී. මේ දක්වා රෝගීන් 210 දෙනෙකු වෙනුවෙන් වූ සැත්කම් සඳහා මූල්‍ය ආධාර අරමුදල මගින් ලබා දී ඇති අතර සියලු සැත්කම් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී සිදු කර ඇත. පැමිණි නියෝජිතයින් විසින් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය රෝහල ශල්‍යකර්ම සිදු කිරීම සදහා සුදුසු ස්ථානයක් ලෙස යෝජනා කරන ලද අතර මෙමගින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මේ වන විටත් තිබෙන විශාල පොරොත්තු ලේඛනය අවම කර ගැනීම සදහා මෙය විසඳුමක් විය හැකි බවත් පෙන්වා දෙන ලදී. එවැනි සැත්කම් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ත්‍රිවිධ හමුදාවේ රෝගීන්ට මෙමගින් ප්‍රමුඛතාවය ලබා දීමට ද අරමුදල අපේක්ෂා කරයි.

මෙම අවස්ථාව සදහා කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති එයාර් වයිස් මාෂල් එච්.එම්.එස්.කේ.බී කොටකදෙනියා, විශ්ව විද්‍යාල රෝහලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සරත් අමුණුගම, කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයීය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හදට හදක් භාරකාර අරමුදලේ සම-නිර්මාතෘවරුන් වන ආචාර්ය රුවන් ඒකනායක සහ ආචාර්ය රජිත වයි ද සිල්වා ඇතුළු නියෝජිතයින් සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි සහභාගී විය.