පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ විධිමත් ක්‍රමවේදයක් සැකසීම පිළිබද සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අගෝස්තු 21, 2019

පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා අවම කර ගනිමින්, විධිමත් අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අවසර නොලත් ගල් වලවල් සහ මසුන් මැරීම සදහා පුපුරණ ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් සිදුවන විශාල පරිසර හානිය පිළිබදව ද මෙහිදී අවධානය යොමු වූ අතර එම ඉඩ කඩ අහුරාලමින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම කළමනාකරණය පිළිබඳව සාකච්ඡා විය.

එමෙන්ම ජාතික ආරක්ෂාව තහවුරු වන අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සිදු විය යුතු බවට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ සියලු ආයතන විධිමත් සම්බන්ධිකරණයකින් යුතුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම නව ක්‍රමවේදය සැකසීම පිළිබඳ එම සියලු ආයතනවල අදහස් සහ යෝජනා ලබාදෙන ලෙස දැනුම් දුන්නේය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ද පුපුරණ ද්‍රව්‍ය නියෝජ්‍ය පාලක ඇතුළු නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය