නාවික හමුදාවට එක්වූ නවතම නෞකාව පරාක්‍රමබාහු ලෙස ජනපති අතින් අධිකාරියට පත්වේ

අගෝස්තු 22, 2019

ශ්‍රී ලංකා නාවික නෞකා “පරාක්‍රමබාහු” සාඩම්බරයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමුහයට එක්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත චීනය වෙතින් ලද ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව (Offshore Patrol Vessel) ත්‍රිවිධ හමුදා සේනාධිනායක සහ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් “ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” ලෙස අද (අගෝස්තු 22 වන බ්‍රහස්පතින්දා) සවස කොළඹ වරායේදී අධිකාරියට පත් කෙරිණි.

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතාද එම අවස්ථාවට සහභාගී විය.

කොළඹ වරාය වෙත සපැමිණි ජනාධිපතිතුමන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී. නාවික සම්ප්‍රධායානුකුලව ජනාධිපතිතුමන් හට නාවික හමුදා ජනාධිපති සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන් අනතුරුව අතිගරු ජනාධිපතිතුමන් විසින් අභිනව නෞකාවේ අණදෙන නිලධාරී වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කරන ලද අතර නෞකාවේ අණදෙන නිලධාරි විසින් එය කියවා ප්‍රකාශයට පත්කරන ලදී.

සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ මෙම නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරිණි.

අතිගරු ජනාධිපතිතුමන්, ආරක්ෂක ලේකම්තුමන් සහ නාවික හමුදාපතිතුමන් “පරාක්‍රමබාහු” නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. නව නෞකාවේ උසස් විශේෂාංග, නවීන පහසුකම් සහ අධි තාක්‍ෂණික මෙහෙයුම් අංශ පිළිබඳව නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා දැනුවත් කළේය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපතිතුමන් වෙත සමරු තිළිණයක්ද පිළිගැන්වීය.

පි 625 අංක දරන නෞකාවේ දිග මීටර් 112 ක් සහ පළල මීටර් 12.4 කි. නොට් 25 ක උපරිම වේගයකින් ගමන් කළ හැකි අතර නොට් 18 ක වේගයකින් මුහුදු සැතපුම් 3500ක දුරක් ගමන් කල හැක.
මෙම නෞකාව 053H2G ජියැන්ග්වේයි - 1 (නේටෝ කේත නාමය) පන්තියේ ආරක්ෂක නෞකාවක් වන අතර එය 1988-1991 දී චීනයේ ෂැංහයි හි හුඩොං ෂොන්ගුවා (Hudong Zhonghua) නැව් තටාකයේ ඉදිකර ඇත. 1994 දී පි 542 අංකය යටතේ ටොංලිං ලෙස අධිකාරියට පත් කරන ලද අතර මහජන විමුක්ති නාවික හමුදාව (PLAN) විසින් ඉතා ප්‍රතිපලදායි ලෙස රාජකාරි සඳහා යොදාගනු ලැබීය.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට භාරදීමට පෙර චීනයේ ෂැංහයි හි ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ යාත්‍රාවක් ලෙස භාවිතා කර තිබේ. ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය සහ චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය අතර ඇතිකරගත් හමුදාමය ආධාර සැපයීම සම්බන්ධයෙන් වූ ගිවිසුම් යටතේ නෞකාව රටට භාර දෙන ලදී. මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට පරිත්‍යාග කිරීමේ ගිවිසුම 2016 ඔක්තෝබර් 13 දින අත්සන් කර ඇත. නෞකාව නවීකරණය කිරීමේ මුළු පිරිවැය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 28 කි. එය නිල වශයෙන් 2019 ජුනි 05 වන දින ෂැංහයි හි නාවික නැව් තටාකයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දෙන ලදී.

නෞකාව අධිකාරියට පත් කිරීමේ උත්සවය සදහා මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයින්, චීන තානාපති චෙන්ග් සූයුආන් මැතිතුමා, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද සහ ගුවන් හමුදාධිපතිවරුන්,හිටපු නාවික හමුදාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික බලකා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, කීර්තිමත් ආරාධිතයින් සහ නාවික හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි විය.