“රට වෙනුවෙන් එකට සිටිමු” මොණරාගල දිස්ත්‍රික් වැඩසටහන හතරවන දිනටත් සාර්ථකව

ජුලි 04, 2019

දුෂ්කර පළාත්වල ජීවත්වන ජනතාවගේ මෙතෙක් නොවිසඳුණු ගැටලු හඳුනාගෙන එම ගැටලු විසඳීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය විසින් දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ පස්වැන්න පසුගිය පළමු වැනිදා මොණරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරිණි.

මොණරාගල දිස්ත්‍රික්කයට අයත් මොණරාගල, තණමල්විල, මඩුල්ල, කතරගම, බුත්තල, බඩල්කුඹුර, වැල්ලවාය, මැදගම, සියඹලාණ්ඩුව, බිබිල, සෙවණගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11 කට අයත් ග්‍රාම නිලධාරි වසම් 319ක් ආවරණය කරමින් මෙම වැඩසටහන ජූලි 06 වනදා දක්වා සතියක් පුරා ක්‍රියාත්මක අතර ඉලක්කගත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 479,000කි.

ජනාධිපති කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ප්‍රධාන ජාතික වැඩසටහන් වන ජාතික වකුගඩු රෝග නිවාරණය, ග්‍රාමශක්ති, ජාතික පරිසර සංරක්‍ෂණය, දරුවන් සුරකිමු, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය, විශේෂ අවශ්‍යතා සහිත සහ වැඩිහිටි ප්‍රජාව සවිබල ගැන්වීම, ස්මාර්ට් ශ්‍රී ලංකා, ජාතික ආහාර නිෂ්පාදන ආදි වැඩසටහන්වලට අයත් ක්‍රියාකාරකම් රැසක් මෙම සතිය පුරා දිස්ත්‍රික්කයේ දී ක්‍රියාත්මක කෙරේ. ඊට අමතරව දිස්ත්‍රික්කයේ ජනතාව කෙරෙහි ඝෘජුවම බලපාන කෘෂිකර්ම, නිවාස හා ඉඩම්, වෘත්තීය හා සෞඛ්‍ය ගැටලු විසඳීම හා එම ක්‍ෂේත්‍රයන්හි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් දියත් කර තිබේ.

තව ද ජනතාවගේ ගැටලු ඝෘජුව ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ හැකි ජනපතිට කියන්න වැඩසටහන ද මෙම සතිය පුරා දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක දී ක්‍රියාත්මක වෙයි.

වැඩසටහනේ සිව්වන දිනය වන අද දින ද විශේෂ වැඩසටහන් රැසක් දිස්ත්‍රික්කය පුරා සාර්ථකව ක්‍රියාත්මක වු අතර ජනතාව විශාල පිරිසක් එම අවස්ථාවන්ට එක්ව සිටියහ.

වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් විශේෂ උපදේශක වැඩසටහනක් මොරණාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ ක්‍රියාත්මක වූ අතර ඊට සමගාමීව පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද සිදුකෙරිණි. වතුර මෝටර් සහ පැල බෙදාදීමක් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ සිදු විය.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් හා පා ගමනක් බිබිල, වෙල්ලස්ස මධ්‍ය මහා විද්‍යාලයේ දී පාසල් දරුවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

ලංකාවේ වකුගඩු රෝග අවදානම් දිස්ත්‍රික්ක 11 අතරින් මොණරාගල දිස්ත්‍රික්කය සුවිශේෂී වෙයි. දිස්ත්‍රික්කයෙන් මේ වන විට වාර්තා වී ඇති වකුගඩු රෝගින්ගේ සංඛ්‍යාව 1459 කට අධික අතර සියඹලාණ්ඩුව, වැල්ලවාය, තණමල්විල සහ බුත්තල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ ද වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක විය.

රුපියල් මිලියන 23ක් වැය කරමින් පවුල් 47500කට පමණ දිනකට ජල ලීටර් 190,000ක් පමණ පිරිවැය කිරීමට හැකියාව ඇති ප්‍රති ආශ්‍රැතකරණ ජල පද්ධති 19ක් ස්ථාපිත කිරීම ද මෙම වැඩසටහනට සමගාමීව සිදු කෙරෙන අතර ඉන් ව්‍යාපෘති කිහිපයක කටයුතු අද දිනයේ එම ප්‍රදේශවල රාජ්‍ය නිලධාරින්ගේ සහහාගිත්වයෙන් ආරම්භ කෙරිණි.

වකුගඩු රෝගී අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් වස විසෙන් තොර දේශීය සහල් ලබාදීම, දරුවන්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලබාදීම, වකුගඩු රෝගීන් පෙර හඳුනාගැනීමේ සායන පැවැත්වීම ඇතුළු වැඩසටහන් ද ක්‍රියාත්මක විය.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය