ගංවතුරෙන් විපතට පත් ජනතාවට නාවික හමුදා සහාය

සැප්තැම්බර් 25, 2019

අයහපත් කාලගුණයෙන් පසු රට පුරා ඇතිව තිබෙන ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) සහ නාවික හමුදා කිමිදුම් අංශයේ සහන සැළසීමේ කණ්ඩායම් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, බද්දේගම, උඩුගම, පෝද්දල, ඉමදුව, නාගොඩ යන ප්‍රදේශවල සහ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට යන ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්ස ඇතුළු ප්‍රදේශ රැසක මේවන විට ස්ථානගත කර ඇත.

මේ වන විට අනපේක්‍ෂිත ගංවතුර තත්වය හේතුවෙන් අවතැන්ව සිටි පුද්ගලයින් 18 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 417 දෙනෙකු නාවික හමුදාව විසින් ආරක්‍ෂිත ස්ථානයන් වෙත රැගෙන යාමට ද කටයුතු කර ඇත. හදිසි තත්වයකදී කෙටි දැනුම්දීමකින් සහන සේවා සදහා යෙදවීමට සියළුම නාවික විධානයන්හි හදිසි අවස්ථා කණ්ඩායම් සුදානමින් සිටියි.