ගංවතුරෙන් විපතට පත්වූවන්ට හමුදා සහාය

සැප්තැම්බර් 27, 2019

පසුගිය දින කිහිපය තුළ ඇති වූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ විශාල ප්‍රමාණයක ගංවතුර හා නායයෑම් වාර්තා විය. මෙමගින් පීඩාවට පත් සිවිල් ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා බේරා ගැනීමේ සහ සහන කණ්ඩායම් සාමාජිකයින් ඉදිරිපත් වී සිටී.

අධික වර්ෂාපතනය හේතුවෙන් ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම නිසා පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යට වී ඇත. සමහර ප්‍රදේශවල ගංවතුර තත්වය නිසා පාලම් ආශ්‍රිතව සුන්බුන් සිර වීම හේතුවෙන් ජලය බැසයාම සීමා වී ඇත. වර්ෂා තත්වය අඩු වෙමින් පැවතියද ජලය බැසයාම මන්දගාමීව සිදුවීම ගංවතුර තත්ත්වය තවදුරටත් පැවතීමට හේතු වී ඇත.

ගංවතුර සුන්බුන් නිසා අවහිරව තිබු ගාල්ල වක්වැල්ල පාලම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 26) පිරිසිදු කරන ලදි. මෙම සුන්බුන් නිසා ගංගා ජලය බැසයාම සීමාවී තිබු අතර එමඟින් ඒ අවට ප්‍රදේශයට ගංවතුර තත්වයක් ඇතිවීමේ අවධානමක් පැවතුනි.

නාවික හමුදා කිමිදුම් සහ මැරීන් අංශයට අනුයුක්ත කණ්ඩායම් දෙකක් මගින් සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිදහස්ව ගලායාමට අවශ්‍ය අවකාශය සලසන ලදී. මේ අතර, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය මාතර දිස්ත්‍රික්කයේ මාලිම්බඩ, තිහගොඩ, කනන්කේ සහ වැලිපිටිය යන ප්‍රදේශ වල ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් සිදුකරනු ඇත.