ජනපති මැදිහත් වීමෙන් ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප්

සැප්තැම්බර් 27, 2019

යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත වූ රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

ඒ අනුව යුද තත්ත්වය හේතුවෙන් ආබාධිත වූ ත්‍රිවිධ හමුදාව් පොලිසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන්ට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබු වැටුපට සමාන වැටුපක් ඔවුන් ජීවත්ව සිටින තාක් කල් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මෙම ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නිරන්තර අවධානයකින් කටයුතු කළ අතර ඒ අනුව අදාළ කැබිනට් සංදේශය සකස් කර පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරිණි. මුදල් අමාත්‍යාංශය ඉදිරිපත් කරන ලද සංශෝධනවලට යටත්ව අද දින ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

අදාළ කැබිනට් සංදේශය මඟින් මෙම වැටුපට හිමිකම් කියන ආබාධිත රණවිරුවා මිය යාමෙන් පසු ඔහුගේ බිරිඳට හෝ වයස අවුරුදු 26ට අඩු දරුවන් සිටී නම් එම දරුවන්ට අදාළ වැටුප හිමිකර දීමට ද ජනාධිපතිතුමා විසින් යෝජනා කර තිබූ නමුත් මුදල් අමාත්‍යාංශයේ සංශෝධන අනුව කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන්නේ අබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප ලබාදීමට පමණි.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය