යුද හමුදා 70 වන සංවත්සර සැමරුමට සමගාමීව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදී ආගමික වතාවන් සිදුකරයි

සැප්තැම්බර් 29, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 70 වන යුද්ධ හමුදා දිනය එලඹෙන ඔක්තෝම්බර් මස 10 වෙනි දින සමරනු ලබයි. 70 වන යුද්ධ හමුදා දිනය නිමිති කරගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින්  ආගමික උත්සව මාලාවක් පවත්වයි.

යුද්ධ හමුදා මාධ්‍යට අනුව සෙනසුරාදා (සැප්තැම්බර් 28) මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදී සිදු කරන ලද ආගමික උත්සවයේදී  ශ්‍රී දළඳා වහන්සේ වෙනුවෙන් ආගමික වතාවත් සිදු කර දානමය පිංකමක් සහ යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කරන ලදී.

එදින මල්වත්ත පාර්ශ්වයේ අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමන්ගල මහානායක ස්වාමින් වහන්සේ සහ අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරත්න මහානායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කොටගත් මහා සංඝරත්නය 70 නමක් විෂයෙහිලා දානමය පිංකමද සිදු කරන ලදි.

මෙම උත්සවය සදහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගී විය.

යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම දළඳා මාළිගාවේ උතුම් දළඳා වහන්සේ වැඩසිටිනා පත්තිරිප්පුව පරිශ්‍රයේදී සන්ධ්‍යාවේ සිදු කරන ලදී.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ,ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් මෙම ආගමික උත්සවය සඳහා සහභාගි විය.