කිලිනොච්චි ප්‍රදේශයේදී චීන සංස්කෘතික ප්‍රසංගයක්

සැප්තැම්බර් 30, 2019

කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් ජනතාවට විදෙස් සංස්කෘතික ප්‍රසංගයක අත්දැකීමක් භුක්ති විඳීමේ අවස්ථාව උදාකරවමින් කිලිනොච්චි ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් චීනයේ හුබේයි සාම්ප්‍රදායික සංගීත හා නර්තන ප්‍රසංගයක් පැවැත්වීම සදහා  අවශ්‍ය පහසුකම් සපයන ලදී.

යුද්ධ හමුදා මාධ්‍යට අනුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහය මත පවත්වන ලද මෙම නර්තන ප්‍රසංගය නැරඹීම සදහා යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුළු සිවිල් වැසියන් 1000 කට අධික ප්‍රමාණයක් සහභාගි වූහ.

මෙම සංස්කෘතික ප්‍රසංගය කිලිනොච්චි ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී සිකුරාදා (සැප්තැම්බර් 27) දින පැවැත්විය.

යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර සුහදතාවය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් භට පිරිස් විසින් මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණි.

මෙම වර්ණවත් ප්‍රසංගය සදහා චීන හුබෙයි පළාතට විශේෂිත වූ චීන සංගීත සහ නර්තන අංගයන්,සටන් කලා, චිත්‍ර හා ඡායාරූප  ඇතුලත් විය.

මෙම අවස්ථාව සදහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජි.වී. රවිප්‍රිය, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතීෂ්වරන් මහත්මිය  සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහභාගී විය.