අනතුරට පත් ප්‍රංශ රුවල් යාත්‍රාවක් නාවික හමුදාව ගොඩබිමට රැගෙන එයි

ඔක්තෝම්බර් 07, 2019

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දකුණු මුහුදු ප්‍රදේශයේදී විපතට පත්වූ ප්‍රංශ රුවල් යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට සෙනසුරාදා දින (ඔක්තෝබර් 04) ශ්‍රී ලංකා නාවික හමුදාව තම සහාය ලබා දී ඇත.

නාවික හමුදා මාධ්‍යට අනුව, SY-LESSIAMOIS නම් වන ප්‍රංශ යාත්‍රාව හම්බන්තොටට ඔබ්බෙන් වූ දකුණු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් සිටියදී එන්ජිමක කාර්මික දෝෂයක් ඇති වී තිබේ.

සිදුවීම පිළිබද ලද තොරතුරු මත ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා නාවික හමුදාව විසින් වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර ඇත.

ඉන් පසුව, කාන්තාවක් සහ පිරිමින් දෙදෙනෙකු ඇතුලත් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් තිදෙනෙකු ඔවුන්ගේ යාත්‍රාවද සමග ආරක්ෂිතව හම්බන්තොට වරාය වෙත රැගෙන එන ලදී.

දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශයේදී විපතට පත්වන දේශීය හා විදේශීය නාවිකයින්ට සහ ධීවරයින්ට කඩිනමින් සහාය ලබා දීම සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරයි. කොළඹ නාවික හමුදා මූලස්ථානයේ පිහිටුවා ඇති සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් සපයන ලද තොරතුරු වලට අනුව මුහුදේදී විපතට පත්වූවන්ට උපකාර කිරීම සඳහා ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කෙරේ.