වෙරළාරක්ෂක භටයින් වෙනුවෙන් ජීවිතාරක්ෂක පුහුණුව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ජීවිතාරක්ෂක සමාජය (Life Saving Victoria) සමඟ

ඔක්තෝම්බර් 09, 2019

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (SLLS) සහ ඕස්ට්‍රේලියානු වික්ටෝරියා ජීවිතාරක්ෂක සමාජය  (Life Saving Victoria) සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සිව් දින ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් පසුගියදා පවත්වන ලදී. වෙරළාරක්ෂක මාධ්‍යයට අනුව, මිරිස්ස වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තු  උසස් පුහුණු මධ්‍යස්ථානයේ පැවති මෙම වැඩසටහනට යුද, නාවික, ගුවන් හමුදාව, පොලිස්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පාසල්, සමාජ සහ වෙරළාරක්ෂක දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් ජීවිතාරක්ෂකයින් 120 කට වැඩි පිරිසක් සහභාගී වූහ.

මෙම වැඩසටහන්හි අරමුණ නම් දිවයිනේ ජීවිතාරක්‍ෂකයන්ගේ ප්‍රමිතීන් නංවාලීම සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ පුරෝගාමී ජාතික දියේ ගිලීම් වැළැක්වීමේ වැඩසටහන වෙනුවෙන් මෙම පුහුණු වැඩසටහන් පැවැත්වීමයි.

පුහුණු සැලස්මේදී  ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලද්දේ වෙරළ ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය,වාතය පිරවිය හැකි  ගලවා ගැනීමේ බෝට්ටු (IRB) රියදුරු පුහුණුව, අභ්‍යන්තර මුර සංචාර සහ කාන්තා ජීවිතාරක්ෂක සංවර්ධන පුහුණුව ඇතුළු වැදගත් අංශ ගණනාවකටය.

උත්සවයේදී සහභාගී වුවන් හට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ජීවිතාරක්ෂක සමාජය (Life Saving Victoria) මගින් සහතිකපතක් පිරිනමන ලදී. ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කොමදෝරු වයි එම් ජී බී ජයතිලක සහ ආසියා පැසිෆික් ජාත්‍යන්තර ජීවිතාරක්ෂක සංගමයේ සභාපති (ILS) නොර්මන් ෆාමර් මහතා මේ සදහා සහභාගී විය.