රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාව විසින් ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

ඔක්තෝම්බර් 11, 2019

මුහුදේ දී අසනීප වූ මෙරට ධීවරයකු බ්‍රහස්පතින්දා (ඔක්තෝම්බර් 10) නාවික හමුදා සහයෙන් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලදී. නාවික හමුදා මාධ්‍යයට අනුව පසුගිය සතියේ (ඔක්තෝම්බර් 04) මීගමුව ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා ගොස් සිටි “සචෙන් පුතා 1” ධීවර යාත්‍රාවේ සිටියදී මෙම ධීවරයා අසනීප වී ඇත.

මීගමුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි මෙම ධීවරයාට මුහුදේ දී උදරාබාධයක් වැළඳී ඇති අතර ඔහුට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳව නාවික හමුදාව වෙත දැනුම් දීමෙන් පසුව රෝගියා ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් (FAC) යවා ඇත.

ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 47ක් පමණ දුරක තිබූ ධීවර යාත්‍රා වෙත ළඟා වී රෝගියා ආරක්ෂිතව නාවික හමුදා යාත්‍රාව වෙත රැගෙන ප්‍රථමාධාර ලබා දීමෙන් පසුව ගොඩබිම වෙත ළඟාවිය. ඉන්පසු ගාල්ල වරාය වෙත රෝගියා ගෙන ඒමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන යන ලදී.