පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාශය සංවර්ධනය කිරීම වෙනුවෙන් ආරක්‍ෂක ලේකම් සාකච්ඡාවක් පවත්වයි

ඔක්තෝම්බර් 19, 2019

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා දින (ඔක්තෝබර් 18) පොලිස් සුභසාධන කටයුතු විශේෂයෙන්ම වෛද්‍ය සේවාව පිලිබඳව සාකච්ඡා කිරීම සදහා රැස්වීමක් අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම රැස්වීම සදහා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න, අතිරේක ලේකම් (නීතිය හා සාමය) තුසිත වනිගසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආචාර්ය සුනිල් ද අල්විස්, ජේෂ්ඨ  රාජ්‍ය නිවේදිත  නිළධාරින්ගේ සංගමයේ නියෝජිතයින්,පොලිස් සුභසාධක අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු,පොලිස් රෝහලේ අධ්‍යක්ෂක,ආරක්ෂක අමාත්‍යංශයේ නිළධාරින්, ජේෂ්ඨ සෞඛ්‍ය අමාත්‍යංශ නිළධාරින් සහ ජේෂ්ඨ පොලිස්  නිළධාරින් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.

පොලිස් රෝහලේ කටයුතු ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා වන වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයන් බඳවා ගැනීම ඇතුළුව පොලිස් වෛද්‍ය සේවා අංශයට අදාළ වන වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්විණි. පොලිස් වෛද්‍ය නිළධාරි උපසේවා ජේෂ්ඨ පොලිස් අධිකාරි කාලිංග ගිනිගේ, පොලිස් වෛද්‍ය නිළධාරි උපසේවා ජේෂ්ඨ පොලිස් අධිකාරි චමේන්ද්‍ර රණසිංහ, උපසේවා පොලිස් අධිකාරි වෛද්‍ය චම්පිකා පී වික්‍රමසිංහ (අධ්‍යක්ෂක/ පොලිස් වෛද්‍ය සේවා කොට්ධාශය), උපසේවා පොලිස් අධිකාරි වෛද්‍ය රවින්ද්‍ර බස්නායක සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන ලදී.

පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාශය මුහුණ දෙන ගැටලු සදහා කල්පවත්නා විසඳුම් සෙවීම සඳහා ආරක්ෂක ලේකම්වරයා පැමිණ සිටි අය සමඟ දීර්ඝ  වශයෙන් සාකච්ඡා පැවැත්විය. පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාශය තවදුරටත් සංවර්ධනය කිරීමේ ක්‍රම සහ මාර්ගයන් පිළිබඳවද සාකච්ඡාවට භාජනය විය. පොලිස් වෛද්‍ය සේවා අංශයේ සංවර්ධනය පිලිබදව සොයා බැලීම සදහා කමිටුවක් පත් කරන ලෙස ද ලේකම්වරයා නියෝග කළේය.