නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් හදිසි අවස්ථාවන්ට මුහුණුදීම සඳහා සූදානමින්

ඔක්තෝම්බර් 29, 2019

පවතින කාලගුණික තත්වය හේතුවෙන් හදුනාගත් ආපදාවන්ට ලක්විය හැකි ප්‍රදේශ සඳහා පූර්වාරක්‍ෂිත පියවරක් ලෙස සහන සැලසීමේ කණ්ඩායම් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට කටයුතු කර ඇත.

ඒ අනුව දකුණු පලාතේ තවලම සහ නෙළුව ප්‍රදේශයන්හි නාවික හමුදා සහන සැලසීමේ කණ්ඩායම් යොදවා තිබේ. මෙම රාජකාරී සඳහා නාවික හමුදා ක්‍ෂණික ප්‍රථිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකය (4RU) සහ නාවික හමුදාවේ කිමිදුම් අංශයෙන් සමන්විත සහන සැලසීමේ කණ්ඩායම් අනියුක්ත කර ඇත.

ගං වතුර අවධානම අවම කිරීම සඳහා පූර්වාරක්‍ෂිත පියවරක් ලෙස වර්ෂාව අතරතුර ජලය ගලායාම ක්‍රමවත් කිරීම සඳහා පාලම්, ඇලවල් සහ බෝක්කු පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සතිය තුල නාවික හමුදාව විසින් සිදුකරන ලදි.

එවැනි එක් වැඩසටහනක් සඳුදා (ඔක්තේබර් 28) දින සිදුකරන ලද අතර එහිදී ගාල්ල දොඩංගොඩ පාලම පිරිසිදු කරන ලදි.

ජලය ගලායාමට බාධා කරමින් පාලම තුල සිරව තිබූ අපද්‍රව්‍ය සහ වෙනත් දෑ ඉවත් කිරීමට දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් කණ්ඩායමක් යොදවා ඇත. පාලම තුල අපද්‍රව්‍ය සිරව තිබීම නිසා ඒ අවට පහත් බිම්වලට ගංවතුර තර්ජනයක් එල්ලවී තිබූ අතර නාවික හමුදාව විසින් එම සුන්බුන් ඉවත් කර ජලය ක්‍රමවත්ව ගලායාමට කටයුතු සිදුකරන ලදි.