යුධ හමුදා භට පිරිස් අවහිරවූ මාර්ග පිරිසිදු කර වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරයි

ඔක්තෝම්බර් 29, 2019

මේ වන විට දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර, මෙම තත්වය මහජනතාවගේ එදිනෙදා ක්‍රියාකාරකම් සදහා විවිධාකාරයෙන් බලපා ඇති අතර ගංවතුර හා නායයෑම් තත්වය ජනජීවිතයට බාධාවක් වී තිබේ. නායයෑම් හේතුවෙන් කඳුකර ප්‍රදේශයන්හි ඇතැම් ප්‍රධාන මාර්ගයන්හි වාහන ගමනාගමනයද ඇණහිට තිබේ.

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරි කරන  ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් ඉරිදා දින (ඔක්තෝබර් 27) නායයෑමෙන් අවහිර වී තිබු ප්‍රධාන මාර්ග දෙකක් පිරිසිදු කර ගමනා ගමනය යථාතත්ත්වයට පත් කිරීමට ඉතා කඩිනමින් ක්‍රියා කරන ලදී. යුද්ධ හමුදා මාධ්‍යට අනුව, කුඹල්වෙල - ඇල්ල ප්‍රධාන මාර්ගයේ කන්දකින් වැටී තිබූ විශාල ගල් නිසා රථවාහන ගමනාගමනය මුළුමනින්ම නැවතී තිබුණු නිසා මාර්ගය පිරිසිදු කිරීම සදහා යුද්ධ හමුදා භට පිරිස් යොදවන ලදී.

එලෙසම, දැවැන්ත ගස් කඩා වැටීම හේතුවෙන් බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හපුතලේ අසල මාර්ගය අවහිර වීම නිසා මාර්ගය පිරිසිදු කිරීම සදහා යුද්ධ හමුදා භට පිරිස් යොදවා තිබුණි.