ඇසල පෙරහැර සඳහා විශේෂ ආරක්‍ෂක විධිවිධාන යෙදවීමට පියවර

ජුලි 29, 2019

මහනුවර වාර්ෂික ඇසල පෙරහැර සමයේදී ජනතාවගේ සහ ස්ථානයන්හි උපරිම ආරක්ෂාව සහතික කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග සහ, ඕනෑම තර්ජනයකට හෝ සිදුවීමකට මුහුණ දීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් උතුම් ආගමික කටයුත්තක් වන පෙරහැර දිනයන්හිදී සාමූහිකව ක්‍රියාත්මක විය යුතු බවත් මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමන් විසින් විශේෂ උපදෙස් නිකුත් කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කෝට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා විසින් අද (ජූලි 29) දින ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමග අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඇසල පෙරහැර සදහා වන ආරක්‍ෂක පියවර පිළිබද විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී පවසා සිටින ලදී.

දිවයිනේ ඉහළ පෙළේ ආරක්‍ෂක අංශයන්හි සාමාජිකයින් සහභාගී වූ මෙම රැස්වීමේදී දින 10 ක් පුරා පැවැත්වෙන දර්ශනීය සංස්කෘතික අවස්ථාවට ඓතිහාසික කඳුකර අගනුවරට එකතුවන සිය දහස් ගණනක් වන බැතිමතුන් එනම් විදේශීය සංචාරකයින්ද ඇතුලත්ව සහභාගී වන සියළු ජනතාවගේ සහ ස්ථානවල ආරක්ෂාව සහතික කිරීම පිලිබදව කරුණු සාකච්ඡාවට බඳුන් විය.

ඇසල පෙරහැරට මාස දෙකකට පෙර සිට බලධාරීන් විසින් ඇසල පෙරහැර (සංස්කෘතික සංදර්ශනය) සඳහා වන ආරක්‍ෂක කටයුතු ආරම්භ කර ඇති අතර පෙරහැර අගෝස්තු 05 වන දින ආරම්භ වී ඉදිරි දින දහය පුරා පැවැත්වේ. මේ වසරේ අපේ‍්‍රල් මාසයේ සිදුවූ අවාසනාවන්ත පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව පැන නැගී ඇති තර්ජනයන්ට මුහුණ දීමට හැකි වන ආකාරයේ විශේෂ ආරක්‍ෂක විදිවිධානයන් ක්‍රියාත්මක වනු ඇත.

මේ වසරේ ක්‍රියාත්මක වන විශේෂ ආරක්‍ෂක විධිවිධානයන් ශක්තිමත් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව,පොලීසිය සහ සහ විශේෂ කාර්ය බලකාය ඔවුන්ගේ බුද්ධි අංශ සහ අවි ආයුධ භාවිතා කරනු ඇත. නගරයට පිවිසෙන සියලුම ස්ථාන මාර්ග බාධක මගින් නිරන්තර පරීක්ෂණයන්ට ලක් කෙරේ. අහඹු පරීක්ෂාවන් සහ ජංගම මුරපොලවල් පැය 24 පුරාම ක්‍රියාත්මක වේ. ධාවන පැදි කණ්ඩායම් සහ ජංගම මුර සංචාර මගින් නගරයේ අවට ස්ථාන, උඩවත්තකැලේ වනාන්තරය ආරක්ෂිත කිරීම ඇතුළුව දලදා මාලිගාව පිහිටා ඇති ප්‍රදේශය සම්පුර්ණයෙන් ආරක්ෂිත කිරීම සිදු කෙරේ.

නගරයේ පදිංචිකරුවන්, හෝටල්වල සහ වෙනත් නවාතැන් ගන්නා ස්ථාන වෙන්කරවා ගත් ආගන්තුකයින්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ. මීට අමතරව, පූර්වාරක්‍ෂක පියවරක් ලෙස නගරයේ පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ පිහිටා ඇති අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය ඇතුළුව නගරය තුළ ඇති සියලුම ප්‍රධාන ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නැවැත්වීමට පියවර ගෙන ඇති අතර තවද නගරය තුල ගමනාගමන කටයුතු පහසු කරවීමටත් අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ. ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි යැයි හඳුනාගෙන ඇති ගොඩනැගිලිවල හිමිකරුවන්ට එම ගොඩනැගිලි සදහා අවශ්‍ය අලුත්වැඩියාවන් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇති අතර දැනටමත් එවැනි ගොඩනැගිලිවල අයිතිකරුවන් ඊට එකඟ වී අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

මහනුවර වැවේ බෝට්ටු ස්ථානගත කෙරෙන අතර විශේෂ අවශ්‍යතා සඳහා නාවික හා ගුවන් හමුදාව විසින් ගුවන් ගමන් පහසුකම් ලබා දෙනු ඇත. ගුවන් නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනේ. සියලුම පෙරහැර රංගන ශිල්පීන්ට විශේෂ හැඳුනුම්පත් නිකුත් කරනු ලබන අතර, රංගනයට නුසුදුසු යැයි හැඟෙන අයට ඒ සදහා ඇතුළුවීමට අවසර නොදේ. විශේෂ ක්‍රියාන්විත මැදිරියක් තුල සියළුම ආරක්‍ෂක ක්‍රියාන්විතයන් සම්බන්ධීකරණය කරනු ඇත.

සියලුම පිවිසුම් / පිටවීමේ ස්ථාන ආරක්‍ෂක අංශ සහ පොලිස් නිලධාරීන් විසින් මෙහෙයවනු ලබන අතර රථවාහන තදබදය වළක්වා ගැනීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක වේ. නගරයට ඇතුළු නොවී වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීමට හැකි විකල්ප මාර්ග හඳුනාගෙන ඇති අතර නගරයෙන් පිටතට යන අය සඳහා එම මාර්ග මගින් ගමනාගමන පහසුකම් සලසාගත හැකි වනු ඇත. පෙරහැර සමයේදී දුම්රිය සේවා වැඩි කිරීම සඳහා කරන ලද ඉල්ලීම්වලට දුම්රිය බලධාරීන් විසින් යහපත් ප්‍රතිචාර දක්වා තිබේ.

මෙම විධිවිධානවලට අමතරව අවට ප්‍රදේශවල පොලිස් ස්ථානයන් මගින් පරීක්ෂාවන් සහ මාර්ග බාධක ක්‍රියාත්මක කරවනු ඇත.

දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාධිපති, වැඩ බලන පොලිස්පති, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, ජාතික බුද්ධි ප්‍රධානී, විශේෂ කාර්ය බලකා සේනාවිධායක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ