ආරක්‍ෂක අමාත්‍යංශ ‘MOD ALERTS’ කෙටි පණිවුඩ සේවාව ආරම්භ කෙරේ

නොවැම්බර් 13, 2019

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන සේවාවන් තව දුරටත් පුළුල් කරමින් නව සංකල්පයක් ලෙස දිවයිනම ආවරණය වන පරිදි ජාතික ආරක්‍ෂාව හා හදිසි ආපදා කළමනාකරණ තත්වයන් පිළිබඳ සත්‍ය තොරතුරු ඉතා කඩිනමින් මහජනතාව වෙත ලබාදීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ‘MOD ALERTS’කෙටි පණිවුඩ සේවාවක් ආරම්භ කෙරේ.

මෙම නව සේවාව ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා විසින් අද දින (නොවැම්බර් 13) නිල වශයෙන් ආරම්භ කරන ලදි.

මෙම සේවාව අමාත්‍යාංශය මගින් දිගු කලක පටන් තිබූ අවශ්‍යතාවය මත සකස් කරන ලද අතර සාමාන්‍ය ජනතාව වෙත සත්‍ය තොරතුරු ලබාදීම මගින් මහජනතාව භීතියට පත්කරන  සහ මහජන කලබලයට හේතු විය හැකි කටකතා සහ තොරතුරු පැතිරීම වැළැක්වීම සඳහා මහඟු සේවයක් ඉටුකරනු ඇත. පසුගිය අගෝස්තු මස පවත්වන ලද ආරක්‍ෂක අමාත්‍යංශ වෙබ් අඩවිය නව මුහුණුවරකින් අන්තර්ජාලයට එක්කිරීමට සමගාමීව මෙම නව සේවාව දියත් කරන ලදි.

සමාරම්භක දේශනය සිදුකරමින් ආරක්‍ෂක ලේකම් උපදේශක සහ සම්බන්ධීකරණ ලේකම් සුරේන් දයාරත්න මහතා විසින් ආරක්‍ෂක අමාත්‍යංශ ‘MOD ALERTS’ කෙටි පණිවුඩ සේවාව ආරම්භ කිරීමේ  අරමුණ සහ එමගින් මහජනතාව වෙත ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව විස්තරයක් සිදුකරන ලදි.

මෙම නව කෙටි පණිවුඩ සේවාව ක්‍රියාත්මක කිරීම ආරක්‍ෂක අමාත්‍යංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග් ආසිආටා පීඑල්සී, මොබිටෙල් (පෞද්.) සමාගම, භාර්තී එයාටෙල් ලංකා පුද්ගලික සමාගම, හචින්සන් ටෙලිකොමියුනිකේෂන් ලංකා (පෞද්ගලික) සමාගම සහ ලංකා බෙල් සමාගම යන දුරකථන සමාගම් අතර ඇති කරගන්නා ලද සහයෝගිතාවයේ ප්‍රතිඵලයකි.

මෙම සේවාව සඳහා සහයෝගය දක්වන ලද හවුල්කාර විදුලි සංදේශ සමාගම් ප්‍රධානීන් වෙත ආරක්‍ෂක ලේකම්තුමන් විසින් විශේෂ සිහිවටනයක් ද පිරිනමන ලදි.

කෙටි පණිවුඩ සේවාව ආරක්‍ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රය සහ ජාතික බුද්ධි අංශ ප්‍රධානී කාර්යාලය විසින් අධීක්‍ෂණය කරනු ලැබේ.

හමුදා මාධ්‍ය ප්‍රකාශක හා අධ්‍යක්‍ෂක ආරක්‍ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රය මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු විසින් ස්තුති කථාව සිදුකරමින් පැමිණ සිටි දුරකථන සමාගම් ප්‍රධානින් හට ඔවුන් විසින් ජාතික අරමුණක් වෙනුවෙන් දක්වන ලද දායකත්වය සහ සහයෝගීත්වය වෙනුවෙන් කෘතඥතාවය පළ කළ අතර මෙම නව සේවාව මගින් මහජනතාව වෙත සාර්ථකව තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ කාර්ය සිදුවනු ඇති බවද පැවසීය.

ආරක්‍ෂක අමාත්‍යංශ දේශණ ශාලාවේදී පැවති මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශ නිලධාරීන්, ජාතික බුද්ධි ප්‍රධානි, හමුදා සම්බන්ධතා නිලධාරි, හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ආරක්‍ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂක, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජිතයින්, දුරකථන සමාගම් ප්‍රධානින්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයින් සහ ආරාධිත අමුත්තන් සහභාගී විය.