ත්‍රිවිධ හමුදාවෙන්, පොලිස් දෙපාර්තමේන්තුවෙන් සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගෙන් ජනපතිට උපහාර

නොවැම්බර් 15, 2019

ඉතිහාසයේ පළමු වතාවට බලයේ සිටින රාජ්‍ය නායකයා නිර්පාක්ෂික වීම හේතුවෙන් සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකිව තිබෙන බව ජනපති කියයි.

ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය නායකයා නිර්පාක්ෂික වීම හේතුවෙන් මෙවර සාධාරණ හා සාමකාමී මැතිවරණයක් රට තුළ පැවැත්වීමට හැකි ව තිබෙන බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වූ රටක මූලික ලක්ෂණයක් බවත් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිසිය විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා එම අංශවලට උපදෙස් දී තිබෙන්නේ සාධාරණ හා සාමකාමි මැතිවරණයක් වෙනුවෙන් කැපවිමට බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙවර මැතිවරණය ඓතිහාසික මැතිවරණයක් බවට පත්වන්නේ තමාගේ එම මධ්‍යස්ථ ප්‍රතිපත්තිය හේතුවෙන් බව ද කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර ඇගැයීමට ලක් කරමින් අද (15) පෙරවරුවේ පොලිස් දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවති හමුවකදී ය.

අද උදෑසන පොලිස් දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා පොලිස් උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව ජනාධිපතිතුමා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතු`ථ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සමඟ හමුවකට එක් විය.

පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරාගත් දිනයේ සිට ගුණාත්මක සහ මහජනතාවට සමීප පොලිස් සේවාවක් රට තුළ ස්ථාපනය කිරීම වෙනුවෙනුත්, පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණියේ නිලධාරින්ගේ සිට ඉහළ නිලධාරින් දක්වා සියලුදෙනාගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙනුත් ජනපති ගත් පියවර මෙහිදී ඇගැයීමට ලක් කෙරිණි.

මේ අතර යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාවන් හි උත්තමාචාරය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම වෙනුවෙන් විශේෂ හමුවක් ද ඊයේ (13) රාත්‍රියේ කොළඹ දී පැවැත්විණි.

ජනාධිපති සහ සේනාධිනායක ලෙස යුද,නාවික සහ ගුවන් ත්‍රිවිධ හමුදාවන් ශක්තිමත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙනුත්, ශ්‍රී ලාංකීය ත්‍රිවිධ හමුදාවන්ගේ අභිමානය සුරැකීම වෙනුවෙන් ඉකුත් පස් වසර පුරා ජනපති ගත් පියවර අගයමින් මෙහිදී උපහාර පිළිගැන්විණි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එමෙන් ම සියලු විශ්වවිද්‍යාල උපකුලපතිවරු ද ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා හමු විය.

විශ්වවිද්‍යාල පද්ධතියට නව අරුතක් ලබාදෙමින් එහි උන්නතිය උදෙසා මෙන් ම විශ්වවිද්‍යාල සිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් ද, මෙරට උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ද ඉකුත් පස් වසර පුරා ජනපති ගත් තීන්දු තීරණ ඇගැයීමට ලක් කරමින් ස්තූතිය පළ කිරීම එහිදී සිදු විය.

ක්ෂේත්‍රයේ මතුවූ සියලු ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීමට ඉතා නිහතමානී ලෙස ඉඩ කඩ විවර කර දීම පිළිබඳව ද මෙහිදී සියලු උපකුලපතිවරුන්ගේ ගෞරවය ජනාධිපතිතුමා වත පිළිගැන්විණි.

එමෙන්ම සාමකාමී සහ නිදහස් මැතිවරණයක් වෙනුවෙන් ජනපති දුන් ආදර්ශය ද ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ඇගැයීමට ලක් විය.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය