ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉන්දීය රාජ්‍ය සංචාරය දෙරට අතර ඓතිහාසික සබඳතාවල නව ප්‍රවේශයක් – ඉන්දීය ජනපති කියයි.

නොවැම්බර් 30, 2019

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රථම විදේශ චාරිකාව ලෙස ඉන්දියාවට පැමිණීම දෙරට අතර ඇති ඓතිහාසික සබඳතාවයේ නව ප්‍රවේශයක් සනිටුහන් කරන බව ඉන්දීය ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

රාෂ්ට්‍රපති භවන්හි දී ඊයේ (29) ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් සංවිධානය කර තිබු විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයේ දී ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝව්න්ද් මැතිතුමා මේ බව සඳහන් කළේය.

දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය දකුණු ආසියානු කලාපයේ ඉදිරි ගමනට ශක්තියක් වනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සකසා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය රටේ සියලු අංශයන්හි වේගවත් ප්‍රගමනයට හේතුවනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බව ද රාම් නාත් කෝවින්ද් මැතිතුමා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙරට අතර ඓතිහාසික සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳ, ආර්ථික, සමාජයිය සබඳතා ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව කියා සිටියේය.

දෙරටේ ජනතාවගේ ජන ජිවිත ඉහළ තත්ත්වයකට ගෙන ඒමේ ඇති අවශ්‍යතාව රාජ්‍ය නායකයන් දෙපළගේ සාකච්ඡාවට බඳුන් විය.

මෙම අවස්ථාවට ඉන්දීය රජයේ මැති ඇමතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයෝ එක්ව සිටියහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද දහවල් ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් හමු වීමට නියමිත අතර, පස්වරුවේ භාරතීය ජනතා පක්ෂයේ මහලේකම් රාම් මාදෙව් (Ram Madhav) මහතා හමු වෙනු ඇත.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය