කාර්මික රසායනික ද්‍රව්‍ය ආරක්‍ෂිතව භාවිතා කිරීම සහතික කිරීම සඳහා ජාතික අධිකාරියක්

දෙසැම්බර් 03, 2019

කර්මාන්ත සඳහා සැලසුම් සහගත රසායනික ද්‍රව්‍ය නිසි ලෙස භාවිතා කිරීමට බාධා නොකර රසායනික ද්‍රව්‍යවල ආරක්‍ෂාව, සුරක්‍ෂිතභාවය සහ ආරක්‍ෂිතව භාවිතා කිරීම සහතික කිරීමේ අරමුණින් ජාතික අධිකාරියක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසිය.

2007 වර්ෂයේ දී ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද රසායනික අවි සම්මුති පනත යටතේ මෙරට රසායනික අවි සම්මුතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයක් සහිත ජාතික අධිකාරියක් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති බවත් කර්මාන්තයන්හි අවශ්‍යතා සපුරාලීම සඳහා පහසුකම් සපයමින් රසායනික අවි සම්මුතිය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් සිදුකරන බව පසුගිය දා කොලඹදී පැවති සම්මන්ත්‍රණයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වු ආරක්‍ෂක ලේකම්වරයා පැවසීය.

ආසියානු කලාපයේ රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයට අයත් සාමාජික රටවල  රසායනික ද්‍රව්‍යවල ආරක්‍ෂාව සහ ආරක්‍ෂිත කළමනාකරණය සම්බන්ධයෙන් තෙදින සම්මන්ත්‍රණයක් පසුගිය සතියේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විය.

ආරක්‍ෂක ලේකම්තුමා තවදුරටත් පවසා සිටියේ ද්විත්ව භාවිත රසායනික ද්‍රව්‍ය අවභාවිතයෙන් ඉවත් කිරීම සෑම අයෙකුගේම වගකීමක් බවත් පූර්වාරක්‍ෂණ පිළිවෙත් තිබියදීත්, රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා විනාශකාරී සිදුවීම් ද සිදුවී ඇති හෙයින් රසායනික ද්‍රව්‍ය කළමනාකරණය ක්‍රියාත්මක කිරීම වැදගත් වන බවය.

රසායනික අවි කෙටුම්පත, රසායනික ආරක්‍ෂාව, ආරක්‍ෂණ ප්‍රතිපත්තිය, රසායනික අනතුරු වැළැක්වීම සහ ආසියානු කලාපයේ විෂ රසායනික ද්‍රව්‍ය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ දැනුවත් කිරීම මෙම සමුළුවේ අරමුණ විය.

තවද මෙම රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරිමේ ජාතික අධිකාරිය ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

මෙම සමුළුවේ ආරම්භක අවස්ථාවට රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරිමේ ජාතික අධිකාරියේ වැඩ බලන අධ්‍යක්‍ෂ ජයන්ත එදිරිසිංහ මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආරක්ෂක) අනුරාධ විජේකෝන් මහතා, එක්සත් ජාතීන්ගේ සහ විදේශ අමාත්‍යාංශයේ මානව හිමිකම් අධ්‍යක්‍ෂ ජනරාල් ගරු එම්.ආර්.කේ ලේනගල මහතා, අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි, ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානි, ජාතික බුද්ධි ප්‍රධානි සහ විශේෂ ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.