ආරක්‍ෂක ලේකම් 25 වැනි ජාතික විරුජන සමිමාන ප්‍රදානෝත්සවයට සහභාගී වේ

ජුලි 25, 2019

25 වැනි ජාතික විරුජන සමිමාන ප්‍රදානෝත්සවය - 2019 කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (ජූලි 25) දින පැවැත්විණි. අද සවස ශ්‍රී ලංකා වීර පොදුජන පදනම විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්.කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසී මහතා සහභාගී විය.

සම්මාන ප්‍රදානෝත්සවය කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. අන්තරායන් හමුවේ ඔවුන් විසින් සිදුකල නිර්භීත ක්‍රියාවන්, වීරත්වයෙන් අගයමින් සිවිල් වැසියන් කිහිප දෙනෙකුට සම්මාන පිරිනමන ලදී. මෙම උත්සවයේ විශේෂත්වයක් වූයේ පසුගිය වසරේ (2018) ජුනි මාසයේදී තායිලන්තයේ ගංවතුරට ලක්ව තාම් ලුආන් ගුහාවේ සිරවී සිටි පිරිමි ළමුන් කණ්ඩායමක් බේරා ගැනීමේ උත්සාහයට සහභාගී වෙමින් ජීවිතය අහිමි වූ විශ්‍රාමික තායි නාවික කිමිදුම්කරුගේ වැන්දඹුව වන සමන් ගුනන් හට පිරිනමන ලද සම්මානයයි.

1993 වර්ෂයේදී දී පිහිටුවන ලද ශ්‍රී ලංකා වීර පොදුජන පදනම 2009 අංක 4 දරන පාර්ලිමේන්තු පනත මගින් සම්මත කර ඇත. ස්වකීය ජීවිතය අවදානමට ලක්කරමින් අන්‍යයන්ගේ ජීවිත බේරා ගන්නා සහ ආරක්‍ෂාව ප්‍රවර්ධනය කරන සිවිල් වැසියන් හඳුනාගෙන ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීම සඳහා පදනම කැපවී සිටී.

විපක්‍ෂ නායක ගරු මහින්ද රාජපක්‍ෂ මහතා, පදනමේ සභාපති කසුන් චන්ද්‍රරත්න මහතා, ආරාධිත අමුත්තන්, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සහ අමුත්තන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ