ආරක්ෂක ලේකම් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සංචාරයක

දෙසැම්බර් 07, 2019

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා අද (දෙසැම්බර් 07) දින ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට පැමිණියේය.

ආරක්ෂක ලේකම්වරයා වෙත කඳවුරු මුරය පසුකර යාමක් සිදුකර ආචාර පුද කරන ලදි. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය වෙත පැමිණි ආරක්ෂක ලේකම්තුමන් එහි සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

ලේකම්වරයා සිය සංචාරයේදී කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හා විශේෂයෙන් විදේශීය සිසුන් ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.

නව ආරක්‍ෂක ලේකම්තුමන් සිය ධුරයෙහි වැඩ භාරගැනීමෙන් පසුව ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිදුකරන ලද ප්‍රථම සංචාරය මෙයයි.

මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

උසස් ආරක්ෂක අධ්‍යයනය සඳහා වන ඉතාමත් කීර්තිමත් ආයතනයක් වන ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය 1998 මාර්තු 16 වන දින යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලය (ACSC) ලෙස ආරම්භ කරන ලදි. පළමු පාඨමාලාව ශිෂ්‍ය නිලධාරීන් 26 දෙනෙකුගෙන් සමන්විත විය. මේ වන විට දේශීය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන් 158 දෙනෙකු යුද, නාවික සහ ගුවන් හමුදාවන් නියෝජනය කරමින් උපාධි පාඨමාලා හදාරමින් සිටී. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධිත ආයතනයකි.