උතුරේ ජනතාවට සහන රැගෙන දකුණේ සිට ගමන් ඇරඹූ “මනුෂ්‍යත්වයේ දුම්රිය” කිලිනොච්චියට ළඟා වෙයි

ජනවාරී 02, 2019

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට සහන රැුගෙන ඊයේ පස්වරුවේ (31) මාතරින් ගමන් ඇරඹු ,මනුෂ්‍යත්වයේ දුම්රිය, අද (01) ප.ව 2.30 ට පමණ කිලිනොච්චි දුම්රිය ස්ථානය වෙත ළඟා විය.

දකුණේ ජනතාව ගංවතුරින් පීඩාවට පත් වූ අවස්ථාවේ උතුරේ ජනතාවගේ සහෝදරත්වයේ දෑත දිගු කරමින් ජනාධිපති කාර්යාලයේ, පුරවැසි අත්වැල, වැඩසටහනේ සංවිධානත්වයෙන් උතුරෙන් දකුණට “මනුෂ්‍යත්වයේ දුම්රිය” පැමිණි අතර, උතුරේ ජනතාව විපතට පත්ව සිටින අද දවසේ දකුණේ ජනතාවගේ සහෝදරත්වයේ දෑත ඔවුන් වෙත දිගු කර තිබේ.

“සුරකිමු දුම්රිය” ව්‍යාපාරය විසින් මෙවර සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදය ලබා දෙමින් ජනාධිපති කාර්යාලයේ, පුරවැසි අත්වැල, වැඩසටහන සහ ජනාධිපති මාධ්‍ය අංශය ද එක් විය.

සහන රැගත් දුම්රිය ඊයේ ප.ව 2.30 ට පමණ මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරඹු අතර, ගාල්ල දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ මගපෙන්වීමෙන් සහ පුරවැසි අත්වැල ස්වේච්ඡා කි‍්‍රයාකාරීන් මගින් එක් රැස් කරන ලද ද්‍රව්‍ය ගාල්ල දුම්රිය ස්ථානයේ දී දුම්රිය වෙත භාරදෙනු ලැබීය.

අද උදෑසන 6.30 ට පමණ කොළඹ දුම්රිය ස්ථානය වෙත පැමිණි සහන දුම්රිය රාගම, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම, පොල්ගහවෙල, කුරුණෑගල, ගනේවත්ත, මහව, ගල්ගමුව සහ අනුරාධපුර දුම්රිය ස්ථානවලදී ද එලෙස එක් කරන ලද ආධාර භාර ගන්නා ලදී.

වියළි ආහාර, පානීය ජලය, පාසල් උපකරණ, ඇඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය, බෙහෙත් ඇතුළු පරිත්‍යාග රැසක් මෙම සහන දුම්රියෙන් උතුරේ ජනතාව වෙනුවෙන් රැගෙන ගිය අතර, එම සියලු ආධාර කිලිනොච්චිය දුම්රිය ස්ථානයේ දී කිලිනොච්චිය දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

පෞද්ගලික ආයතන රැසක් සහ ව්‍යාපාරික ප‍්‍රජාව ද මෙම සද්කාර්යය සමග අත්වැල් බැඳගෙන තිබිණි.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය