යාපනය හමුදා සාමාජිකයින් නත්තල් දින සැමරුම් වැඩසටහන් අවශ්‍යතා සහිත දරුවන් මුලික කර ගනිමින් සිදු කෙරේ

දෙසැම්බර් 27, 2019

නත්තල් උත්සවය සැමරීම නිමිති කරගෙන යුද්ධ හමුදාව විසින් ඉකුත් අගහරුවාදා (දෙසැම්බර් 24) දින යාපනය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත ළමුන් වෙනුවෙන් පාපැදි සියයක් පරිත්‍යාග කරන ලදි.  

යුද්ධ හමුදා මාධ්‍යට අනුව, බෙදාදෙන ලද මෙම පාපැදි සඳහා පෞද්ගලික සමාගමක් විසින් අනුග්‍රාහකත්වය ලබා දී ඇත.  

මීට අමතරව, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති මෙම වැඩසටහන අතරතුර තෝරාගත් පවුල් වෙනුවෙන් පොල් පැල බෙදා දීමක්ද සිදු විය.

මෙම වැඩසටහන සඳහා යාපනයේ රඳගරු අති උතුම් ආචාර්ය ජස්ටින් බී. ඥාණප්‍රගසම් පියතුමන්, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය, හමුදා නිලධාරින් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී විය.

මේ අතර වන්නි භට පිරිස් විසින් ඉරිදා (දෙසැම්බර් 22) දින මැදවච්චිය ශාන්ත ජෝශප් දේවස්ථානයේදී නත්තල් බැති ගී ප්‍රසංගයක් සංවිධානය කරන ලද අතර පාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් විසින් ගීතිකා ගායනා කරන ලදි. හමුදා සාමාජිකයින් විසින් නත්තල් කැරොල් සඳහා සහභාගී වූ දරුවන් හට ත්‍යාග පිරිනැමීය.

එම අවස්ථාවේදී තෝරාගත් දෘශ්‍යාබාධ සහිත කතෝලික පූජකවරුන් සහ සහෝදරියන් පිරිසකට ඇස් කණ්නාඩි පරිත්‍යාග කිරීමද සිදු විය.