නොමඟ ගිය තරුණයින් රැඩිකල් අදහස් වලින් ඉවත් කිරීම සඳහා නිසි සැලසුම් - ආරක්ෂක ලේකම්

ජනවාරී 14, 2020

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ නොමඟ ගිය තරුණ තරුණියන් රැඩිකල් අදහස් වලින්  වෙනස් කිරීමේ අරමුණින් නිසි වැඩපිළිවෙළක් නිසි බලධාරියෙකු යටතේ ක්‍රියාත්මක කර ඔවුන් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීම ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (ජනවාරි 14) පැවසීය.
 
ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහ කොමසාරිස්  සාරා හල්ටන්ගේ නායකත්වයෙන් යුත් එක්සත් රාජධානියේ නියෝජිත කණ්ඩායමක් සමඟ අද (ජනවාරි 14) අමාත්‍යාංශයේදී පැවති රැස්වීමකදී, රැඩිකල් අදහස් නැතිකිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන ඇති පියවරයන් පිළිබදවද  ඔහු පැහැදිලි කළේය.
 
පාස්කු ප්‍රහාරය පිළිබඳ විශ්වාසදායක පූර්ව තොරතුරු තිබියදී අදාළ බලධාරීන් විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පැවසීය.
 
අදාල නිළධාරීන්ගේ තිබූ ජාතික ආරක්ෂාව පිළිබඳ නොසැලකිල්ල සහ නොදැනුවත්කම හේතුවෙන්  අවසානයේ වටිනා ජීවිත රැසක් අහිමිවීමට හා දේපළ විනාසයට හේතු වූ බව ඔහු පැවසීය.
 
ආදර්ශමත් දේශපාලන නායකත්වයක් ඇතිව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ මෙවැනි සිදුවීමක් මෙරට තුළ නැවත සිදුවීමට ඉඩ නොතබන බව ඔහු අවධාරණය කළේය
 
ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සහතික කිරීමේ  අති විශාල වගකීමක් තමන් මත ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් කිසිම පැකිලීමක් ඇති කර නොගන්නා බවත් ඔහු පැවසීය.
වඩා හොඳ සම්බන්ධීකරණයක් හා ක්‍රියාකාරීත්වයක් සඳහා සියලු බුද්ධි අංශ එක අරමුණකට රැගෙන විත් ඇති  බව ඔහු සඳහන් කළේය.
ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා හමුදා බුද්ධි තොරතුරු, තාක්‍ෂණය සහ විශේෂඥ දැනුම බෙදාහදා ගැනීමට මෙන්ම මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට එරෙහිව  සටනේදී එක්සත් රාජධානියේ සහාය මෙහිදී  ආරක්ෂක ලේකම්වරයා ඉල්ලා සිටියේය.

මරාගෙන මැරෙන සෙබළුන් ඇතුළු එල්ටීටීඊයේ හිටපු සටන්කාමීන් 12000 කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය කිරීම පිළබඳව මහකොමසාරිස්වරයාට සිහිපත් කරමින්  මේජර් ජෙනරාල් ගුණරත්න මහතා සඳහන් කළේ ප්‍රජාව තුළ පුනරුත්ථාපනය කර නැවත සමාජගත කරන ලද හිටපු සටන්කරුවන් අතර බෙදුම්වාදී මතවාද ප්‍රවර්ධනය කිරීම මගින් එල්ටීටීඊය පුනර්ජීවනය කිරීමට ඩයස්පෝරා කණ්ඩායම්වල සාමූහික ප්‍රයත්නයක් ඇති බවයි .

කලාපීය බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය සහ විශේෂයෙන් ඉන්දියන් සාගර ගැටළු පිළිබඳව මහකොමසාරිස් තුමිය අවධාරණය කළේය.

ද්විපාර්ශ්වික ගැටලු සම්බන්ධයෙන් දෙරට අතර වඩා හොඳ සහයෝගීතාවයක් ඇති කර ගත යුතු යැයි ඇය පවසා සිටියාය.

මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍යවරයාගේ  ඇෆ්ගනිස්ථානයේ  සහ පාකිස්තානයේ  විශේෂ නියෝජිත  ගරත් බේලි  සහ එක්සත් රාජධානියේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන්  සහභාගී වූහ.