අනවසර ගිනි අවි භාරදීමට සහන කාලයක්

ජනවාරී 14, 2020

වලංගු බලපත්‍ර හෝ ලියකියවිලි නොමැතිව නීතිවිරෝධී ලෙස ලඟ තබාගෙන සිටින ගිනි අවි භාරදීමට පෙබරවාරි 5 සිට12 දක්වා වූ සතියක සහන කාලයක් ආරක්ෂක අමාත්‍යාංශය විසින් අද (ජනවාරි 14) දින ප්‍රකාශයට පත්කර තිබේ.
 
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි සතියක සහන කාලය තුල සියලුම නීති විරෝධී ගිනිඅවි භාරදිය යුතු බව ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම සහන කාල සීමාව තුල තමන් ලඟ ඇති නීති විරෝධී ගිනිඅවි ළඟම ඇති පොලිස් ස්ථානයට භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටී.
 
සහන කාලය අතරතුර අනවසර ගිනිඅවි පොලිසියට භාරනොදි සිටින අයට එරෙහිව නීතිමය පියවරගන්නා ලෙස පොලීසියට උපදෙස් දී ඇත.
 
දිවයින පුරා සාමකාමී වාතාවරණය සුරක්ෂිත කිරීමට මෙන්ම මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට එවැනි ගිනිඅවි තර්ජනයක් වන බැවින් මෙම තීරණය ගෙන තිබේ. එවැනි නීතිවිරෝධී ගිනිඅවි ප්‍රමාදයකින් තොරව භාරදීමට මෙය අවස්ථාවක් කරගන්නා ලෙස අමාත්‍යාංශය දන්වා සිටී.
 
සහන කාලය අවසන්වූ වහාම නීතිවිරෝධී ගිනි අවි ළඟ තබාගෙන සිටින හෝ භාවිතා කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අදාල බලධාරීන් බලාපොරොත්තුවේ.
 
මේ අතර, පොදු සමාවෙන් පසු නීතිවිරෝධී ගිනිඅවි සන්තකයේ තබාගන්නා අය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.