සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ආරක්ෂක ලේකම් උපදෙස් දෙයි

ජනවාරී 16, 2020

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රා) කමල් ගුණරත්න මහතා විසින් මේ වන විට ඉදිකරමින් පවතින මෙරට සිව්වන විශාලතම ස්ථුපය වන සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස ඉදිකිරීමට කටයුතු භාර ආරක්ෂක අංශ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය පිළිබඳව අද (ජනවාරි 16) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාව සදහා සහභාගී වූ සියලු දෙනා වෙත උපදෙස් ලබා දෙමින් ඔහු පවසා සිටියේ අපේක්ෂිත කාලසීමාව තුල ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සදහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසයි.

මෙම අවස්ථාවේදී  ස්ථුපයේ හතරැස් කොටුව නිර්මාණය කිරීම, ස්ථුපයේ හතරැස් කොටුවේ සිට චුඩා මාණික්‍ය දක්වා කොත,කොත් කැරැල්ල රදවන ආකාරය සහ ස්තුපයේ යෝජිත ශිලාමය කැටයම් පවුර සහ දැනට නිමකර ඇති චිත්‍ර හා මුර්ති පිලිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

දශක තුනක් පුරා පැවති කුරිරු ත‍්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා ආරක්ෂක අංශ සහ පොලිස් සාමාජිකයින් විසින් සිදු කරන ලද උදාර සේවය අගය කරනු වස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

ඉදිකිරීම් කටයුතු අවසන් වීමෙන් පසු විශාලත්වය අතින් මෙම ස්ථුපය ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ස්ථූපය බවට පත්වනු ඇත. ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරන මෙම ස්ථුපයේ උස අඩි 285 ක්  සහ පළල අඩි 255 කි.

මෙම අවස්ථාවට ජේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය රංජිත් ලියනගේ, ජේෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, ව්‍යාපෘතිය භාර  නිලධාරීන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ චිත්‍රශිල්පීන් සහභාගී වූහ.