විනයගරුක පුරවැසියන් බිහිකිරනු වස් ශිෂ්‍යභට ව්‍යාපාරය ජනප්‍රිය කරවීම අත්‍යවශ්‍යයයි - ආරක්ෂක ලේකම්

ජනවාරී 23, 2020

විනයගරුක හා නීතිගරුක පුරවැසියන් බිහිකරනු පිණිස පාසල් ශිෂ්‍යභට ව්‍යාපාරය ජනප්‍රිය කරවීම අත්‍යවශ්‍ය බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවැසීය. ආරක්ෂක ලේකම් තුමා ප්‍රකාශ කර සිටියේ ජාතික ශිෂ්‍යභට බලකාය  නිසි ලෙස සකස් කරන ලද සැලැස්මක් යටතේ පාසල් තුලින් ආරම්භ කළ යුතු බවයි.

අද (23) දින පාමංකඩ පිහිටි ජාතික ශිෂ්‍යභට බළකා මුලස්ථානය වෙත ගිය ආරක්ෂක ලේකම් විසින් එහි නිලධාරින් අමතා ප්‍රකාශ කර සිටියේ ජාතික ශිෂ්‍යභට බලකාය විශාල වශයෙන් ශිෂ්‍යභටයින් පුහුණුවීම් සඳහා සම්බන්ධ වු ඒ අභිමානවත් අතීතය නැවත ලබා ගැනීමට කැපවි ක්‍රියාකල යුතු බවයි.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ජාතික ශිෂ්‍යභට බළකාය වෙත සිය පුර්ණ සහාය ලබා දෙන බවට  මෙහිදි සහතික විය.

ආරක්ෂක අමාත්‍යාංශයීය විෂය පථය යටතේ ක්‍රියාත්මක ජාතික ශිෂ්‍යභට බළකාය ශ්‍රි ලංකාවේ තිබෙන පැරණිතම සහ විශාලතම තරුණ සංවිධාන වලින් එකකි.

ජාතික ශිෂ්‍යභට බළකායට මේවන විට  පාසල් 3000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇති අතර පිරිමි ශිෂ්‍යභට බළඇණි 29 ක් සහ කාන්තා ශිෂ්‍යභට බළඇණි  09 කින් සමන්විත වේ. ආසන්න වශයෙන් ශිෂ්‍ය භටයින් 85,000 ක් පමණ සිටින අතර 3,000 කට අධික ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ ශ්‍රේණිවල නිලධාරින් එයට ඇතුලත් වේ.

1881  දක්වා ඉතිහාසයක් තිබෙන ශිෂ්‍යභට බළකාය මුලින්ම ආරම්භ කරන ලද්දේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්ය. එවකට විදුහල්පති ලෙස කටයුතු කල ජෝන් බී. කූල්  විසින් තරුණ සිසුන් අතර විනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන මෙම ව්‍යාපාරය ආරම්භ කරන ලදී. පසුව එය මෙරට සහායක පාබල හමුදාවක් ලෙස වෙනත් පාසල් දක්වා ව්‍යාප්ත කරන ලදි.

අද වන විට උතුරු හා නැගෙනහිර පාසල් ඇතුළු දිවයිනේ බොහෝ පාසල්වල ශිෂ්‍යභට ඛණ්ඩ පිහිටුවා ඇත.

ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් (විශ්‍රාමික) රුවන් කුලතුංග විසින් පිළිගනු ලැබු ආරක්ෂක ලේකම්තුමන් වෙත කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යභට ඛණ්ඩය විසින් කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදි. ආරක්ෂක ලේකම් ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථම වරට එම මුලස්ථානයට පැමිණි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මුලස්ථාන පරිශ්‍රයේ විවිධ අංශ වෙත ගොස් එම අංශයන්හි මෙහෙයුම් පිළිබඳව සොයා බැලීය.

මෙම අවස්ථාවට  නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය අධ්‍යක්ෂවරුන් සහ ජ්‍යෙෂ්ඨ  නිලධාරීන් රැසක් ද සහභාගී වුහ.