සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම ඩිජිටල්කරණය කිරීමට රජයෙන් සැලසුම්

ජනවාරී 24, 2020

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ  (ICTA) අධීක්‍ෂයණ හා කළමනාකරණය යටතේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය (ICT) හරහා ඒකාබද්ධ පද්ධතියක් යටතේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ඩිජිටල්කරණය කිරීමට රජය කටයුතු කරමින් සිටියි.  

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න  නාරාහේන්පිට පිහිටි තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතන කාර්යාලයේදී  එහි  කාර්ය මණ්ඩලය අමතමින් රාජ්‍ය ආයතන වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ දැක්ම ගැන පැහැදිලි කළේය.  

“තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනය (ICTA) ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථයට ගැනීමේ අරමුණ වන්නේ මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සහ එයට වැඩි පහසුකම් සැලසීමයි. ජාතික ආරක්‍ෂාව නොමැති විට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත. අමාත්‍යාංශයට වැඩි ප්‍රවේශයක්, වැඩි බලයක් සහ වැඩි සම්පත් ප්‍රමාණයක් ඇති හෙයින් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ සිටීම ඔබට වරප්‍රසාදයක්. ” මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.  

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනය මින් පෙර විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පාලනය වු සම්පුර්ණයෙන්ම රජය සතු ආයතනයකි. වර්ථමානයේ මෙම ආයතනය ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වේ.  

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සඳහා රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කිරීමට හා ක්‍රියාත්මක කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයට රජයෙන් බලය පවරා ඇත.  

වැඩි බලතල ලැබී ඇති හෙයින් වැඩි වගකීමක්ද ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැවරී ඇති බව ඔහු පැවසීය.  

නීතිය හා සාමය අමාත්‍යාංශය සහ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යාංශය ද ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ක්‍රියාත්මක වේ.  

කැපවීමෙන් මෙන්ම අධිෂ්ඨානයෙන් එක්ව  වැඩ කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් මේජර් ජෙනරල් කමල් ගුණරත්න කියා සිටියේ ඩිජිටල් තාක්‍ෂණයට හිතකාමී රාජ්‍ය අංශයක් ඇති කිරීම සඳහා වන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ දැක්ම සාක්‍ෂාත් කර ගැනීම සඳහා සිය පුර්ණ සහාය එම කාර්ය මණ්ඩලයට ලබාදෙන බවයි.  "ඔබගේ වෘත්තීමය නිපුණත්වය තුළින් අධිෂ්ඨානශීලීව,කැපවීමෙන් වෙහෙස මහන්සි වී වැඩකිරීම අපි බලාපොරොත්තු වෙමු." ඔහු පැවසීය.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනයේ සභාපති ජයන්ත ද සිල්වා, අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින් වන  මහාචාර්ය ලලිත් ගමගේ, ආචාර්ය සංජීව වීරරත්න,රෙෂාන් දේවපුර, වසන්ත දේශප්‍රිය, මනෝරි උනම්බුව, ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී. හේරත්, ප්‍රධාන තාක්‍ෂණ නිලධාරි හිරන්‍යා සමරසේකර ඇතුළු අනිකුත් නිලධාරින් මේ අවස්ථාව සඳහා සහභාගී වුහ.