මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් - ආරක්ෂක අමාත්‍යාංශය

ජනවාරී 27, 2020

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් ඉතා කඩිනමින් පිහිටුවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

ජාතික අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලය  (NDDCB) අනෙකුත් පාර්ශවකරුවන් සහ රාජ්‍ය ආයතන සමඟ ඵලදායී ලෙස සම්බන්ධීකරණය කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් නොමැතිවීම නිසා දිවයිනේ මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සදහා සහාය වන අන්තරාදායක ඖෂධ පාලන මණ්ඩලයේ  අරමුණු ඉටුකරගැනීම කෙරෙහි බලපා ඇති බව ඔහු පැවසීය.

ජාතික අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය අමතමින් මේජර් ජෙනරාල් ගුණරත්න අවධාරණය කළේ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා ආරක්ෂක අංශ, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි අනෙකුත් පාර්ශවකරුවන්ගේ සාමූහික ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බලකායක හදිසි අවශ්‍යතාවය පිළිබදවයි.

 ‘ජාතික අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලයේ පරිපාලනය ප්‍රතිව්‍යුහගත කරමින් ස්ථිර හා දක්ෂ උසස් විධායක නිළධාරින් මේ සදහා නොබෝදිනකින් පත් කරනු ලබන අතර, ඉන් පසුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ භාවිතා කරන්නන් පමණක් නොව, තම සිර මැදිරියේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදී සිටින සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිවද නිසි පියවර ගනු ඇත.’ ඔහු පැවසීය.

නියමිත රාජකාරි කාල සීමාවේ අවශ්‍යතාව අවධාරණය කරමින් ආරක්ෂක ලේකම් ජාතික අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලයේ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ ‘තමා වෙත පවරා ඇති කාර්යයට තව ටිකක් අමතරව ලබා දෙන්න’ කියාය.

තම යුද හමුදා කාලය තුළ අනුගමනය කල ක්‍රියා පිළිවෙත් සිහිපත් කළ ඔහු, අඛණ්ඩ ඉගෙනුම් සැසි, වැඩමුළු, පුද්ගලයන් පෙළඹවීම සඳහා නායකත්ව කුසලතා වර්ධනය කිරීම සහ වැඩ කිරීමේ හැකියාවන් බෙදාහදා ගැනීමේ අවශ්‍යතාව පිළිබදවද අවධාරණය කළේය.

මෑතකදී, ආරක්ෂක ලේකම්ගේ නියෝගයට අනුව, පැය 24 පුරා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් ඒකකයක් පොලිස් විශේෂ කාර්ය සාධක බලකා මූලස්ථානයේ ද පිහිටුවන ලද අතර, එය මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටී.

මෙම අවස්ථාව සදහා අධ්‍යක්ෂක ජෙනරාල් (වැඩබලන) ආලෝක බණ්ඩාර, ජේෂ්ඨ සහකාර ලේකම් සකුනිකා සුමතිපාල, අතිරේක ලේකම් (වැඩබලන) මාලිකා සුරියප්පෙරුම, ජාතික අන්තරායකාර ඖෂධ පාලන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යංශ නිළධාරින් සහභාගී වුහ.