බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා පූර්ණ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදෙන බවට පාකිස්ථානය පොරොන්දු වෙයි

ජනවාරී 31, 2020

බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම තුලින් මත්ද්‍රව්‍ය ජාවාරම්, ත්‍රස්තවාදය සහ අන්තවාදී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බවට පාකිස්ථානය සහතික විය.

මත්ද්‍රව්‍ය ජාවාරම, ත්‍රස්තවාදය සහ අන්තවාදය ආශ්‍රිත ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ශ්‍රී ලංකාව දරණ උත්සාහයන්ට සහාය වීම සඳහා දෙරට අතර බුද්ධි අංශ සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව තම රටේ සහයෝගය ලබාදෙන බවට  ශ්‍රී ලංකාවේ නව පාකිස්ථානයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් ප්‍රකාශ කළේය.  

“ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය ඉන්දියානු සාගරයේ උපාය මාර්ගිකව වැදගත් ස්ථානවල පිහිටා ඇති හෙයින්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අන්තවාදය පදනම් කරගත් ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට දෙරට අතර බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා රටවල් දෙක අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ” යැයි අද (ජනවාරි 30) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා හමුවූ අවස්ථාවේදී ඔහු පැවසීය.

තම රටට දුෂ්කර කාලවලදී සහාය වීමට ශ්‍රී ලංකාව සැමවිටම සූදානම්ව සිටි බැවින් ශ්‍රී ලංකාවේ නායකත්වයට පාකිස්ථානය කෘතඥ පුර්වක වන බව ඔහු පැවසීය.  

“දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා දශක ගණනාවක් අතීතයට දිව යන අතර, දුෂ්කර කාලවලදී දෙරටම එකිනෙකා වෙනුවෙන් පෙනී සිටියේය'', යනුවෙන් ඔහු පැවසුවේ පාකිස්ථානය තුල ත්‍රස්තවාදී  තර්ජන පවතින විටත් එරටට ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායම එවීම ගැන කෘතඥ පූර්වකව සිහිපත් කරමින්ය.  

ශ්‍රී ලංකාව සමඟ බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමටත්, ශ්‍රී ලංකාවේ යුධමය හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා තාක්‍ෂණික දැනුම ලබාදීමටත් පාකිස්ථානය ඉතා කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.  

පාකිස්ථාන යුධ හමුදාවේ සේවය කරන සමයේදී ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණ ඇති මහ කොමසාරිස් ඛට්ටක්, පසුගිය වසරවල පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සඳහන් කරමින් පැවසුවේ අතීත අත්දැකීම් මත පදනම්ව, අනාගත ආරක්‍ෂක තර්ජනවලට මුහුණ දීම සඳහා එකිනෙකාට සහයෝගය දැක්වීමට දෙරටේ බුද්ධි තොරතුරු හුවමාරු කර ගත හැකි බවයි.  

හමුදා බුද්ධි අංශ ඇතුළු බුද්ධි අංශ ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වය යටතේ ගෙන ඇති පියවර පැහැදිලි කරමින් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් ගුණරත්න පැවසුවේ කලාපීය ආරක්‍ෂාවට ද බරපතල තර්ජනයක් වන අන්තවාදයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාවට පුළුල් ලෙස සහාය වීමට පාකිස්ථානයට හැකි බවයි.  

“පාකිස්ථානය යනු වැදගත් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම තුලින් අන්තවාදයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාවට සහාය දිය හැකි රටකි”, ඔහු පැවසුවේ 2009 මැයි මාසයේ ත්‍රස්තවාදයට එරෙහි දශක තුනක දීර්ඝ යුද්ධය අවසන් කිරීමෙන් පසු විනාශකාරී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවන තෙක් මෙරට තුල කිසිදු ත්‍රස්තවාදී සිද්ධියක් වාර්තා නොවූ බව අවධාරණය කරමින්ය.  

''පුළුල් පුනරුත්ථාපන වැඩසටහනක් යටතේ එල්ටීටීඊයේ හිටපු සාමාජිකයින් 12,400 කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කර ඇත. අද ඔවුන් සාමකාමී ජීවිත ගත කරනවා’’, යැයි පැවසූ මේජර් ජෙනරාල් ගුණරත්න ශ්‍රී ලංකාවේ පුනරුත්ථාපන ක්‍රියාවලිය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පැසසුමට ලක්ව ඇති බවද  සඳහන් කළේය.  

අද දින පොලීසිය විසින් සිදුකල හදිසි වැටලීමකින් හෙරොයින් කිලෝ 190 ක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න කියා සිටියේ මෙම වැටලීම පොලීසිය සිදුකර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීම සඳහා වගකීම පැවරී ඇති බුද්ධි අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් බවයි.  

අන්තවාදය යනු දිනෙන් දින ඉහල යන ප්‍රබල තර්ජනයක් බව අවධාරණය කළ ආරක්‍ෂක ලේකම් පාකිස්ථානය සමඟ  ආරක්‍ෂාව ආශ්‍රිත පර්යේෂණ අධ්‍යයනයන් පිළිබඳ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම මඟින් යුධ පුහුණු පහසුකම් සහ අවස්ථා වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව කරුණු සාකච්ඡා කරන ලදි.  

මෙම අවස්ථාව සිහිවීම වස් මේජර් ජෙනරාල් ගුණරත්න සහ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ඛට්ටක් අතර සමරු සිහිවටන හුවමාරුවක්ද සිදුවිය.