කලාපීය සාමය හා ස්ථායිතාවය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට වැදගත් කාර්යභාරයක් පැවරී ඇත - පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී

පෙබරවාරි 10, 2020

කලාපය තුළ සාමය හා ස්ථායිතාවය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බව පැවසූ පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාෂල් මුජාහිඩ් අන්වර් ඛාන් බුද්ධි අංශ ශක්තිමත් කිරීම සඳහා සහාය දෙන බවට ද ප්‍රතිඥා දුන්නේය.   

“පාකිස්තානයට සහ ශ්‍රී ලංකාවට ත්‍රස්තවාදයෙන් පොදු තර්ජනයන් හා අභියෝගයන් ඇති අතර එය ගෝලීය සංසිද්ධියක් බවට පත්ව තිබේ” ඔහු පැවසීය.   

පාකිස්තාන ගුවන් හමුදාවේ ප්‍රධානී එයාර් චීෆ් මාෂල් ඛාන් අද (පෙබරවාරි 10) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවූ මොහොතේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා පාකිස්තානයේ සහාය ලබා දෙන බවද ප්‍රකාශ කරන ලදි.   

අග්‍රාමාත්‍යවරයා සහ ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සමඟ තමන් සිදුකළ ඵලදායී සාකච්ඡා පිළිබදව සඳහන් කරමින් ඔහු පවසා සිටියේ රටවල් දෙක දෙරටේ දුෂ්කර කාලවලදී එකිනෙකා වෙනුවෙන් පෙනී සිටි බවයි. රට තුළ සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව නැවත එවැනි ප්‍රහාරයක් ඇති නොවීම වෙනුවෙන් ගන්නා ලද පශ්චාත් ක්‍රියාමාර්ගයන් පිළිබදව එහිදී ප්‍රශංසා කරන ලදි.   

මානුෂීය මෙහෙයුම් පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කරමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ගුණරත්න එවකට ආරක්ෂක ලේකම්ව සිටි වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය යටතේ එවකට ජනාධිපතිව සිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ත්‍රස්තවාදය තුරන් කිරීමට රටට හැකි වූ බව පැවසීය.   

හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 12,000 කට අධික සංඛ්‍යාවක් සාර්ථක පුනරුත්ථාපන ක්‍රියාවලියක් යටතේ පුනරුත්ථාපනය කර නැවත සමාජගත කිරීම පිළිබඳව ද ආරක්ෂක ලේකම් වරයා පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානීගේ අවධානය යොමු කළේය.   

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමේ වැදගත්කම පිළිබදව අවධාරණය කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට සහ මිනිස් ජාවාරමට එරෙහි සටනේදී ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් විය හැකි වඩාත් ඵලදායී බුද්ධි තොරතුරු ලබාගැනීමේ හැකියාවක් පාකිස්තානයට සතුව ඇති බවයි.   

“වර්තමාන බන්ධනාගාර ක්‍රමය සමඟ එය දුෂ්කර කාර්යයක් වන නමුත් අප රට මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවා ගැනීම වෙනුවෙන් දැඩිව ක්‍රියා කරනවා” මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් වත්මන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන් පිලිබදව කරුණු දක්වමින් ඔහු පැවසීය.  

පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අමතර පුහුණු අවස්ථාවන් ලබා දීමට ආධාර ලබාදෙන බවට ප්‍රතිඥා දුන්නේය.  

මේජර් ජෙනරාල් ගුණරත්න සහ ගුවන් ප්‍රධානී මාෂල් ඛාන් අතර මෙම අවස්ථාව සිහිවනු වස් සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.  

එයාර් චීෆ් මාෂල් මුජාහිඩ් අන්වර් ඛාන් බදාදා (පෙබරවාරි 05) දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය.