ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදාහදා ගැනීමට තුර්කිය අපේක්ෂා කරයි

පෙබරවාරි 17, 2020
  • ශ්‍රී ලංකාව කිසිදු ආකාරයක ත්‍රස්තවාදයක් නොඉවසන බව පවසයි.

ප්‍රචණ්ඩකාරී, මූලධර්මවාදී අන්තවාදයට විරුද්ධ ඒකාබද්ධ සටනේදී ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමේ ශ්‍රී ලංකාවේ අත්දැකීම් හා බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට තුර්කිය අපේක්ෂා කරයි.

තම රටේ හා ඉන් පිටතදී ත්‍රස්තවාදය හා සටන් කිරීමේදී එල්ටීටීඊය හා සටන් වැදුණු ශ්‍රී ලංකාවේ අත්දැකීම් බොහෝ වැදගත් වන බව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආර්. ඩර්නෙට් සෙකරොයියෝග්ලූ (R. Dernet Sekeroioglu) පැවසීය. එයට අමතරව ප්‍රචණ්ඩකාරී, මූලධර්මවාදී අන්තවාදය හා සටනේදී ශ්‍රී ලංකාව හා බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීමට තම රට අපේක්ෂා කරන බව ඇය තවදුරටත් පැවසීය.

තුර්කි තානාපතිනි ඩර්නෙට් සඳුදා (17) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවූ අවස්ථාවේදී මෙසේ ප්‍රකාශ කර සිටියාය.

ශ්‍රි ලංකාව කිසිදු ආකාරයක ත්‍රස්තවාදයක් හෝ ආගමික හෝ වාර්ගික අන්තවාදයන් ඉවසන්නේ නැති බවත්, මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමටත්, දිනාගත් සාමය ආරක්ෂා කර ගැනීමටත්, අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පැවසීය.

තුර්කිය සතුව ශක්තිමත් හමුදාවක් ඇති බවත්, ගෝලීය හා කලාපීය ආරක්ෂාවට ඇති තර්ජනවලට මුහුණදීමේදී දෙරටේ සහයෝගීතාවය වර්ධනය කරගැනීම හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම ඉතා වැදගත් බවත්, මෙහිදී මේජර් ජෙනරාල් ගුණරත්න වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ තුර්කි තානාපතිනි ආර්. ඩර්නෙට් සෙකරොයියෝග්ලු අතර සාකච්ඡාව අවසානයේ සමරු සිහිවටන හුවමාරුවක් ද සිදුවිය.