පොලිසිය සහ බුද්ධි අංශ මඟින් නීති විරෝධී ආයුධ වැටලීම්

පෙබරවාරි 18, 2020
  • පොදු සමාව අතරතුර නීති විරෝධී ගිනි අවි දෙසියයක් පොලීසියට භාර දී තිබේ. 
  • ආයුධ භාර නොදුන් අය සඳහා දැඩි නීතිමය පියවර ගනු ලැබේ.  

සතියක ගිනි අවි පොදු සමා කාලය අවසන් වීමත් සමඟ පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව නීති විරෝධී ගිනි අවි වැටලීම ආරම්භ කර තිබේ.  

ලබාදුන් සහන කාලය තුළ වලංගු බලපත්‍රයක් නොමැතිව හෝ බලපත්‍රය අලුත් කර නොමැතිව භාවිතා කරන ලද ගිනි අවි 200 ක් පළාත් නවයේ පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.   

රටේ සියලුම නීති විරෝධී ගිනි අවි භාරයට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ලබාදුන් නියෝගය අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පෙබරවාරි 5 සිට 12 දක්වා ගිනි අවි පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර තිබුණි.  

වලංගු බලපත්‍රයක් නොමැතිව හෝ බලපත්‍රය අලුත් කර නොමැතිව භාවිතා කරන ගිනි අවි  භාර දෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය කළ ඉල්ලීමට අනුව බෝර 12 වෙඩි බෙහෙත්  තුවක්කු 137, බෝර 16 වෙඩි බෙහෙත් තුවක්කු 15, ද්විත්ව බැරල් තුවක්කු 2, රිපීටර් වර්ගයේ තුවක්කු 5, රයිෆල් 6, රිවෝල්වර 7, පිස්තෝල 8 සහ තවත් ගිනි අවි 20 ක් මෙසේ  ළඟම ඇති පොලිස් ස්ථාන වෙත භාරදී ඇත.

“වලංගු බලපත්‍ර නොමැතිව හෝ බලපත්‍රය අලුත් කර නොමැතිව භාවිතා කරන ආයුධ භාර දුන් අයට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. එහෙත් තවමත් නීති විරෝධී ලෙස ආයුධ සඟවාගෙන සිටින අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නෙමු” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා defence.lk වෙත පැවසීය.

මහජන ආරක්‍ෂාව සහතික කිරීම සහ එවැනි අනවසර ආයුධවලින් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා ආරක්‍ෂක අමාත්‍යංශය විසින් මෙලෙස ගිනි අවි පොදු සමා කාලයක් ලබා දී තිබුණි.

පොදු සමාව අතරතුර ආයුධ භාර දුන් අයට නව බලපත්‍ර ලබාගැනීමට සහ පරණ බලපත්‍ර නැවත අළුත් කිරීම් සඳහා ආයුධ පොලිසියට භාර දුන් දින සිට මාස තුනක සහන කාලයක් ලබා දෙනු ලැබේ.  

පොදු සමාවෙන් පසු තවමත් නීති විරෝධී ගිනි අවි සන්තකයේ තබාගෙන සිටින අය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.  

1916 ගිනි අවි ආරක්‍ෂණ පනතේ අංක 33 හි විධිවිධාන යටතේ බලපත්‍ර නොමැතිව ආයුධ ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එය දඩ ගැසීමකට හෝ සිර දඬුවම් විඳීමකට හෝ මෙම දඬුවම් දෙකටම හෝ යටත් වන වරදක් වේ. වලංගු බලපත්‍රයක් නොමැතිව ආයුධ භාර නොදුන් අය, එය ඔවුන්ගේ පළමු වරද නම්, ඔවුන් රු.10,000.00 ට නොවැඩි දඩයකට හෝ අවුරුදු 5 කට නොවැඩි සිර දඬුවමකට හෝ මෙම දඬුවම් දෙකටම යටත් වනු ඇත.