අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල් පිළිබඳව පසුවිපරම් සිදුකරන බවට හියුමන් රයිට්ස් වොච් සිදුකරන චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි

පෙබරවාරි 21, 2020

බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන් ශ්‍රී ලාංකික ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශවල පසුවිපරම් යටතේ සිටින බවට හියුමන් රයිට්ස් වොච් විසින් කරන ලද චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්‍ෂේප කරයි.

හියුමන් රයිට්ස් වොච් සිය නව වාර්තාව නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශ විසින් බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන්ට එරෙහිව පසුවිපරම් කිරීම් හා තර්ජන 2019 නොවැම්බරයේ ගෝඨාභය  රාජපක්‍ෂ ජනාධිපති ධුරයට පත්වූ දා සිට තීව්‍ර කර ඇති බවයිඩ.

ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසා සිටියේ සාමාන්‍ය ආරක්‍ෂක ජාලය හැරුණු විට ආරක්‍ෂක අංශ සහ බුද්ධි අංශ කිසිදු නිශ්චිත පිරිසක් අධීක්‍ෂණය කිරීමේ කටයුතුවල නිරත නොවන බවයි.

 ඔවුන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කිසිවකු පිළිබදව අවධානය යොමු නොකරන අතර ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ බුද්ධි අංශ කිසිවක් එම පවුල් පිළිබඳ අවධානය තබාගැනීමට අප භාවිතා කර නොමැත ඔහු පැවසීය.

ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේ ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ආරක්‍ෂක අංශ සහ පොලීසිය දැඩි අවධානයෙන් පසුවන නමුත් ශ්‍රී ලංකාවේ නිශ්චිත පිරිසක් ඉලක්ක කර නොගන්නා බවයි.

හියුමන් රයිට්ස් වොච් අනුව, බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සමඟ උතුරු හා නැගෙනහිර ස්ථාන හයක සේවය කරන ක්‍රියාකාරීන් හියුමන් රයිට්ස් වොච් වෙත පවසා ඇත්තේ රජයේ පසුවිපරම් හා බිය ගැන්වීම්වල සැලකිය යුතු වැඩි වීමක් සිදුව ඇති බවයි.

 විශේෂයෙන්, අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිළිබඳව අපි විමසිල්ලෙන් හෝ බිය ගැන්වීමක් කරන්නේ නැත ඔහු පැවසීය.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි ඉලක්ක කර ගනිමින් රජය අපකීර්තියට පත් කිරීම සඳහා මෙම චෝදනා රටේ ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව එල්ල කළ හැකි බව මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.

පාස්කු ඉරිදා දින සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර වැනි මාරාන්තික සිදුවීම් වලක්වා ගැනීම සඳහා ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අනාගත ආරක්‍ෂක තර්ජනයන්ට මුහුණ දෙන ලෙස ජනාධිපති රාජපක්‍ෂගේ නියෝගය අනුව හුදකලා ලෙස ක්‍රියාත්මක වූ හා අවුල් සහගතව පැවති සමස්ත බුද්ධි ජාලය ශක්තිමත් කර ඇති බව ඔහු පැවසීය.

අතුරුදහන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශ විසින් බිය ගැන්වූ බව ප්‍රකාශ කළ අයගේ සත්‍යතාව තහවුරු කරන ලෙස ආරක්‍ෂක ලේකම් නිව්යෝර්ක්හි අයිතිවාසිකම් සංවිධානය වන හියුමන් රයිට්ස් වොච් වෙතින් ඉල්ලා සිටියේය