එල්ටීටීඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් පරාජය කළ නමුත් දෙමළ දේශපාලනඥයින් කිහිප දෙනෙකු තවමත් එහි මතවාදය ප්‍රචාරය කරයි - ආරක්ෂක ලේකම්

පෙබරවාරි 25, 2020
  •  සාමාන්‍ය ද්‍රවිඩ ජනතාව බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරන බව පවසයි
  • ශ්‍රී ලංකාවේ හමුදාමය අත්දැකීම් බෙදා ගැනීමට අවස්ථාවන් සොයයි

මීට වසර 10 කට පෙර ශ්‍රී ලංකා හමුදාව එල්ටීටීඊ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් මුළුමනින්ම පරාජය කළද, සමහර දෙමළ දේශපාලනඥයින් විසින් බෙදුම්වාදී මතවාදයන් දෙමළ ජනතාවගේ මනසට කාවැද්දීමට උත්සාහ කරමින් සිටින අතර එම බෙදුම්වාදී මතවාදයන්  පරාජය කිරීමේ අභියෝගය තවමත් පවතින බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

බහුතරයක්වූ දෙමළ ජනතාවගේ අභිලාෂයන් එම දේශපාලනඥයන්ගේ මතවාදයන්ට වඩා වෙනස් බව ඔහු පැවසීය.“එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් අහිංසක දෙමළ ජනතාවට වෙනම රටක් අවශ්‍ය නැති නමුත් සමහර දෙමළ දේශපාලනඥයින්ට බලය බෙදා හැරීමට අවශ්‍යය” මේ බව අද (පෙබරවාරි 25) දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී සැම්බියානු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ (Lt. Gen. W.M Sikazwe) හමුවූ අවස්ථාවේදී ආරක්ෂක ලේකම් පැවසීය.

අවසන් මෙහෙයුමේදී  මෙරට පැවති ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා භාවිතා කළ විශේෂ හමුදා උපක්‍රම පිළිබදව  සඳහන් කරමින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සම්ප්‍රදායෙන් බැහැර වූ යුද උපක්‍රම භාවිතා කල බවත් එබැවින් ශ්‍රී ලංකා හමුදාවන්ටද තමන්ගේම නව්‍යකරණයවූ  යුද උපක්‍රම  නිර්මාණය කර ගැනීමට සිදු වූ බවත් , එමඟින් 2009 වර්ෂය මැදභාගයේ එල්ටීටීඊ මතවාදය දක්වා පමණක අඩු කරනු ලැබීය.

නොබැදි ජාතීන්ගේ සමුළුවේ ආරම්භයේ සිට දිවෙන දෙරට අතර පවත්නා සම්බන්ධතාවය ද මේජර් ජෙනරාල් ගුණරත්න විසින් අවධාරණය කළේය.

දැනට පවතින ශ්‍රී ලංකා - සැම්බියා හමුදාමය සම්බන්ධතාවයේ ඉදිරි ගමනක් ලෙස ලුතිනන් ජෙනරාල් සිකාස්වේ ශ්‍රී ලංකා හමුදාවේ විශේෂඥ දැනුම හා අත්දැකීම් බෙදාහදා ගැනීමේ හැකියාව අපේක්ෂා කළේය.

“ශ්‍රී ලංකා හමුදාවේ නව්‍යකරණය වූ යුධ උපක්‍රම මගින් සැම්බියානු හමුදාවට විශාල ප්‍රතිලාභයක් ලැබෙනු ඇත”,සංචාරයේ නිරත හමුදාපතිවරයා පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම් විසින් ලුතිනන් ජෙනරාල් සිකාස්වේ වෙත දැනුම් දුන්නේ, “දිගු දුර විහිදුම්  බළකායේ (LRRP) සහ “වනයේ නොනැසී ජීවත්වීම,මගහැරයාම, පලායාම සහ සංග්‍රාමික ලුහුබැදීම” පිළිබඳ විශේෂිත පාඨමාලා පිළිබඳ ශ්‍රී ලංකා විශේෂ බලකා  විශේෂඥ දැනුම හා පුහුණුව සැම්බියානු විශේෂ බලකායට ලබා දීමේ හැකියාව ඇති බවයි.
 
මේ වන විට සැම්බියානු හමුදාවේ කෙඩෙට් නිලධාරී හය දෙනෙකු සහ එක් මේජර්වරයකු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු ආයතනවල පුහුණුව ලබමින් සිටී.

මේජර් ජෙනරාල් ගුණරත්න මහතා පවසා සිටියේ සැම්බියානු හමුදාවට ඔවුන්ගේ මාණ්ඩලික විද්‍යාලවල සැසි පැවැත්වීමට ශ්‍රී ලංකා හමුදා උපදේශකවරුන් කණ්ඩායමක් අවශ්‍ය නම් එම අවශ්‍යතාවය සැලසීමට අමාත්‍යාංශය කැමැත්තෙන් සිටින බවයි.

ලුතිනන් ජෙනරාල් සිකාස්වේ ඇතුළු සැම්බියානු යුද හමුදා දූත පිරිසක් පෙබරවාරි 21 දින සිට දිවයිනේ දින පහක සංචාරයක නිරතව සිටී. මෙම දුත පිරිසට ඉන්දියාවේ, නවදිල්ලියේ පිහිටි සැම්බියානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් සිමුසන්දු (Brigadier General Simusandu), පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ජී. නැග්ඇන්ඩ්වේ (Brigadier General G Ng’andwe), ප්‍රතිපත්ති හා උපාය මාර්ග නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, කර්නල් ලෙනාඩ් පීටර් ඩකා (Colonel Leonard Peter Daka), සැම්බියා ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යක්‍ෂ, කර්නල් ජෙත්‍රෝ චිපිලි (Colonel Jethrow Chipili), ආරක්‍ෂක විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, කර්නල් ටී. බණ්ඩා (Colonel T Banda), විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් එම් ෂප්වායා (Lieutenant Colonel M Shapwaya), හමුදාධිපති අධිසහයක කපිතන් එම්. මුලෙන්ගා (Captain M Mulenga) යන නිලධාරීන්ද  ඇතුලත් වූහ.