දෙලක්ෂයකට අධික ආරක්ෂක හමුදා සාමාජිකයින් හට ‘විරුසර’ කාඩ්පත මගින් සහන රැසක්

පෙබරවාරි 27, 2020
  • කාඩ්පත් හිමියන්ට මෙමගින් සාප්පු සවාරි, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුළු වෙනත් සේවාවන් සඳහා වට්ටම් ලබා ගැනීමට ද  හැකිවේ.

මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත සෙබළුන් ඇතුළු ආරක්ෂක හමුදා සාමාජිකයින් 200,000 කට අධික පිරිසකට ඔවුන් වෙත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවලින් වට්ටම් ලබා දීම පිණිස ‘විරුසර වරප්‍රසාද කාඩ්පත’ (VPCs) නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

පළමු අදියර යටතේ කාඩ්පත් 44,500 කට වැඩි ප්‍රමාණයක් දැනටමත් ඔවුන්ට ලබා දී ඇත. 1983 සිට 2009 දක්වා ත්‍රිවිධ හමුදාවේ මෙන්ම පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  සේවය කල ආරක්ෂක අංශ සාමාජිකයින්ට විරුසර වරප්‍රසාද කාඩ්පත මගින් පුළුල් පරාසයක් තුල සුවිශේෂී වූ ප්‍රතිලාභ ලබා දේ.

සෞඛ්‍යය, අධ්‍යාපනය, බැංකු කටයුතු, රක්ෂණය සහ ලිසිං ඇතුළු රජයේ හා පෞද්ගලික ආයතනවලින් සාප්පු සවාරි සහ වෙනත් සේවාවන් සඳහා වට්ටම් ලබා ගැනීමට කාඩ්පත් හිමියන්ට හිමිකම් තිබේ.

අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අදාළ පහසුකම් ලබා ගත හැකි අංශයන් පිළිබඳව සියළුම ප්‍රතිලාභීන් දැනුවත් කිරීම සඳහා අදාළ රණවිරු සංසද (ප්‍රාදේශීය බලධාරීන්) දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කරන ලෙස රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්දන සේනාධීර වෙත උපදෙස් ලබා දෙන ලදී.

විරුසර යෝජනා ක්‍රමය භාවිතයේදී ප්‍රතිලාභීන් හට ඇතිවන අපහසුතා මග හරවා ගැනීම සදහා විශේෂ අලෙවිසැල්, විකුණුම් නිලධාරීන් සහ පෙරටු කාර්යාලයන් ඇති කරන මෙන් සියලුම ලැයිස්තුගත රාජ්‍ය හා පෞද්ගලික ආයතන,  දුරකථන  සේවා සපයන්නන්, බැංකු හා  මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්  සහ පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නන් වෙත මේජර් ජෙනරාල් ගුණරත්න විසින් දැනුම් දුන්නේය.  

විරුසර කාඩ්පත් බෙදා දීමේ තෙවන  අදියර යටතේ තෝරාගත් ප්‍රතිලාභීන් හට එළඹෙන  රණවිරු දිනයේදී විරුසර කාඩ්පත බෙදා දීමට අවශ්‍ය පියවර ගන්නා  ලෙස ආරක්ෂක ලේකම් විසින් මේජර් ජෙනරාල් සේනාධීර වෙත උපදෙස් ලබා දෙන ලදී.   
 “අපට සාමය උදා කර දීම උදෙසා විවිධ කැපකිරීම් කර ආබාධිත තත්වයට පත් වූ රණවිරුවන්  ප්‍රාදේශීය රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පෝලිම්වල සිටින බව දැකීම අතිශයින්ම කණගාටුදායකයි ”, ඔහු පැවසීය.

මේජර් ජෙනරාල් ගුණරත්න විසින් දිස්ත්‍රික් රෝහල් සමග  සම්බන්ධීකරණය වෙමින් ප්‍රමාදයකින් තොරව ඔවුන්ට සේවා සැපයීම සහතික කරන මෙන් රණවිරු සේවා අධිකාරියේ කලාපීය අධ්‍යක්ෂකවරුන් හට  උපදෙස් ලබා දෙන ලදී.

රණවිරු සේවා අධිකාරිය විසින් විරුසර ව්‍යාපෘතිය සදහා දායකවී ඇති ආයතන සඳහා අදාළ අලෙවිසැල්වල ප්‍රදර්ශනය කිරීම සඳහා විරුසර ස්ටිකරයක් හඳුන්වා දෙනු ලබන අතර, අනාගතයේදී ජංගම දුරකථන කෙටි පණිවුඩ සේවාවක් මගින්ද කාඩ්පත් හිමියන් දැනුවත් කරනු ඇත.

විරුසර කාඩ්පත්වල වලංගු කාලය දීර්ඝ කර කාඩ්පත් හිමියන්ට නොනවත්වා පහසුකම් ලබා දෙන බව අතිරේක ලේකම් (ආරක්ෂක සේවා) සමන්ති වීරසිංහ පැවසීය.

ව්‍යාපෘතියේ සමාරම්භක අදියරේදී එනම් 2016 වර්ෂයේදී, අතුරුදහන් වූ සහ අතුරුදහන් වූ රණවිරුවන්ගේ පවුල් සහ ආබාධිත රණවිරුවන්ගේ පවුල්වලට ඔවුන්ගේ කාඩ්පත් ලැබුණි.

1983 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වා සේවය කළ හා දැනට සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදා,පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් සහ එම කාලය තුලම මියගිය සහ ආබාධිත තත්වයට පත්වූ සිවිල් සේවකයින්ගේ පවුල්වලට ද පෙර අදියරවල දී විරුසරු කාඩ්පත් ලැබී තිබේ.

මෙම අවස්ථාව සඳහා අතිරේක ලේකම් (ආරක්ෂක සේවා) සමන්ති වීරසිංහ, රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් (විශ්‍රාමික) විජිත් සුබසිංහ, ත්‍රිවිධ හමුදා සුභසාධක අධ්‍යක්ෂවරුන්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින්, රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සහ  රණවිරු සේවා අධිකාරියේ නිලධාරින් සහභාගී වුහ.