ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරේ

ජනවාරී 09, 2019

සිව් වසරක අත්දැකීම් සමග ජනතාවාදී වැඩපිළිවෙළ ජයග්‍රහණය කරා මෙහෙයවන බව ජනපති පවසයි.

ජනපතිට ආශිර්වාද පළකරමින් ආගමික වැඩසටහන් රැසක්

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට ජනපතිගෙන් උපහාර

ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට

දුම්බර මිටියාවත අස්වද්දන කළු ගඟ ජලාශය ජනතා අයිතියට පැවරේ

අදින් සිව් වසරකට පෙර තමා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට ගෙන ගිය වැඩපිළිවෙලේ සාර්ථක මෙන්ම අසාරථක වූ අවස්ථා ද තිබු බවත්, එහි දී ලැබු ජයග්‍රහණ තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරනවා සේම ලැබු පරාජයන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරි කාලසිමාව තුළ දී කැපවන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ලග්ගල නව හරිත නගරය අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදීමෙන් අනතුරුව පැවති ජන හමුව අමතමිනි.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස තහවුරු කරමින් සියලු ජාතින් බියෙන් සැකෙන් තොරව ජීවත්වන සමාජයක් ගොඩනැගීම මෙන්ම නිදහස් මාධ්‍යයක්, ස්වාධීන අධිකරණයක්, අපක්ෂපාති රාජ්‍ය සේවයක් ගොඩනැගීමට සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉකුත් සිව් වසර තුළ වැදගත් පියවර රාශියක් ගත් බව ජනාධිපතිතුමා මෙහි දී සිහිපත් කළේය.

රට ගොඩනැගීමට ප්‍රබලතම අභියෝගයක්ව පවතින වංචාව, දූෂණය සහ අක්‍රමිකතාවය පිටුදැකීමට පසුගිය සිව් වසර තුළ සුවිශේෂී කැපකිරීමක් සිදු කළ අතර ඉකුත් අත්දැකීම් ආශිර්වාදයක් කර ගනිමින් දූෂණය සහ වංචාව පිටුදැකීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ඔස්සේ අත්වැල් බැඳ ගැනීමට එක් වන ලෙස ජනාධිපතිතුමා මෙහිදී සියලුදෙනාට ආරාධනා කළේය.

එමෙන්ම මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ අද රටට අවශ්‍ය වන්නේ පක්ෂ පාටවලට බෙදී බලය ගැන පමණක් සිතා පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන පිරිසක් නොව පොදු න්‍යාය පත්‍රයක් අනුව රට ගැන සිතා කටයුතු කරන පිරිසක් බවත්, අලුතින් සිතා, අලුතින් සැලසුම් කර අලුත් ගමනක් යාමට ලැබු නව වසරේ අත්වැල් බැඳගන්නා ලෙස තමා සියලුදෙනාට ආරාධනා කරන බවත් ය.

රජ රට ජනතාවගේ ජල ගැටලුව විසදීම සඳහා මොරගහකන්ද – කළු ගඟ දැවැන්ත වාරි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළා සේම, තමාට සැබෑ ලෙසම සතුටු විය හැක්කේ උතුරේ ජනතාවගේ ජල ගැටලුවට ද නිසි විසඳුමක් ලබා දුන් දිනක බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සමෘද්ධිය මෙන්ම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීමේ පුළුල් මෙහෙවර ඉටුකිරීමේ දී ජාතින් අතර සමඟිය සහ සංහිඳියාව ගොඩනැගීමට කළ හැකි සැම කාර්යයක්ම ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පොදුජන අපේක්ෂාවන් ඉටුකරමින්, සාමකාමී දේශයක් සහ තිරසර සංවර්ධනයක් ගොඩනැගීමේ අරමුණින් 2015 ජනවාරි 08 වනදා මෙරට හැට දෙලක්ෂයකට අධික ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, සිය ධූරයට පත්ව අදට සිව් වසරක් සපිරේ.

ඒ නිමිත්තෙන් ජනපතිට ආශීර්වාද පළ කරමින් ආගමික වතාවත් ස්ථාන රැසක දී පැවැත්වුණු අතර, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඊයේ (07) රැය පහන්වන තුරු ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. අද උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය පුණ්‍ය කර්මයක් සිදු කෙරිණි.

මේ අතර අද උදෑසන ජනාධිපතිතුමා විසින් සිය කටයුතු ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමිනි. දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120 වැනි ඡන්ම දින සැමරුම නිමිත්තෙන් ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියස පැවති උත්සවයට එක්වූ ජනාධිපතිතුමා පිළිරුවට මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීය.

“මෛත්‍රී පාලනයක් – තිරසර යුගයක්” ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.

මොරගහකන්ද ජලාශයට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශය ද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පවරාදීම සිදු විය.

නවීන පහසුකමිවලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය එම ජනතාවට හිමි වූයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රජ රට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් ඉටුකරමින් දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද- කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කළුගඟ ජලාශයට නුදුරු ව නව ලග්ගල නගරය ඉදිකර තිබේ. අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර තිබෙන අතර, මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි.

ලග්ගල නව නගරයේ රාජ්‍ය ආයතන 26ක් සඳහා ගොඩනැගිලි ඉදිකර තිබෙන අතර මහජන සේවා සපයන එම ආයතන සියල්ල එකිනෙකට පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව ඉදිකෙරුණු ලග්ගල නව ප්‍රදේශීය රෝහල ජනතා අයිතියට පවරාදීම සහ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

එමෙන්ම නව නගරයේ ඉදිකළ නව ප්‍රදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, ක්‍රිඩාංගනය, වෙළෙඳපොළ, බස් නැවතුම්පොළ, ගොවි ජන සේවා මධ්‍යස්ථානය, තැපැල් කන්තෝරුව, සෞඛ්‍ය මධ්‍යස්ථාන, මහා මාර්ග පද්ධති ඇතුළු රාජ්‍ය සේවා හා ප්‍රජා යටිතල පහසුකම් ජනතා අයිතියට පවරාදීම මැති ඇමතිවරුන් අතින් අද සිදු කෙරිණි.
මැති ඇමතිවරු රැසක් එම අවස්ථාවන්ට එක්ව සිටියහ.

මෙම සියලු සංවර්ධන කටයුතු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව සිව් වසරක් සපිරෙන අද දිනයේ ජනගත කරන ලද්දේ, ජනතා හිත සුව පිණිස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිව් වසරක් පුරා ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළේ තවත් මහඟු ප්‍රතිලාභයන් ලෙසිනි.

නව ලග්ගල නගරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අමතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදුකළ කතාව. 2019-01-08

 

අපේ රටේ ජාතික ආර්ථිකයේ ප්‍රබල, පුළුල්ම බලවේගය වූ ගොවි ජනතාව ගේ ආර්ථිකය නඟාසිටුවමින්, එයින් ජාතික ආර්ථිකයට යෝධ ජවයක් සපයන මොරගහකන්ද කළු ගඟ ව්‍යාපාරයේ එක් වැදගත් පියවරක් තබන දිනක මේ ආදරණීය ජනතාව හමුවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.

අද ජනවාරි 08 වෙනිදා. 2015 ජනවාරි 08 මේ රටේ ජනතාව මා කෙරෙහි විශ්වාසය තබලා, රටේ නායකයා වගේ ම ප්‍රධාන මහජන සේවකයා විදියට මාව පත් කරගෙන අදට වසර හතරක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුදු හතර තුළ මේ රටේ ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න, නිදහස ශක්තිමත් කරන්න, බියෙන් සැකෙන් තොරව ජීවත් වන සමාජයක් ගොඩනඟන්න, නිදහස් මාධ්‍යයක්, ස්වාධීන අධිකරණයක්, අපක්ෂපාති රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා පුළුල් පියවර රාශියක් අරගෙන ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත් වැදගත් පියවර රාශියක් තිබෙනවා.

ගෙවී ගිය සිව් වසරක කාලය තුළ රටේ ජනතාව බලාපොරොත්තු වූ අරමුණු ඉෂ්ට කර ගන්න අපි ලොකු කැප කිරීමක් කර තිබෙනවා. එහි ප්‍රතිඵල රාශියක් තිබෙනවා. එහි බොහෝ සාර්ථකභාවයන් තිබෙනවා. ඒවගේම අසාර්ථකභාවයන් ද තිබෙනවා. ජය මෙන්ම පරාජය ද තිබෙනවා. ලැබූ ජයග්‍රහණ පිළිබඳව කතා කරනවා වගේම ලබා ඇති පරාජයන් පරාජය කර ඒවායින් ජයග්‍රහණය කරන්න ඉදිරි කාලසීමාව තුළ මම තමුන්නාන්සේලා වෙනුවෙන් කැපවෙනවයි කියන එක මේ අවස්ථාවේ සහතික කරනවා. ඒ ලැබූ ජය ගැන මා දිගට කතා කරන්නේ නැහැ. යහපාලන දේශපාලන සංකල්පයේ මූලික පදනම ලෙස සැලකූ රාජ්‍යයේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ දූෂණය, වංචාව, නාස්තිය, හොරකම පරාජය කිරීමේදී අපි පරාජය වෙලා තිබෙනවා. මම එයයි කිව්වේ පරාජය වූ දේ ජයගන්න අපි සියලුදෙනාම නැවත අධිෂ්ඨානශීලිව එකතුවෙමු කියලා. සිව් වසරක අත්දැකීම් විමසත් දි, මේ රට ගොඩනඟන්න, මේ රටේ ජාතික ආදායම ශක්තිමත් කරන්න, ජනතාවට සුඛිත මුදිත ආර්ථිකයක් සමඟ ප්‍රබුද්ධ සමාජයක් ගොඩනඟන්න මේ රටේ අපට තිබෙන බරපතළම අභියෝගය දූෂණය හොරකම නාස්තිය සහ වංචාවයි. දේශපාලනඥයන් ගේ සිට පහළට ගලා ගිය මේ මහා ජාතික ව්‍යසනය මේ රටින් තුරන් කරන්න අපි සියලුදෙනා අත්වැල් බැඳ ගන්න ඕනෑ. මා ඊට වඩා ඒ ගැන කතා කරන්නෙ නැහැ.

අද ලග්ගල ලංකාවේ ප්‍රථම හරිත නගරය විවෘත කළා. මා දන්නා විදියට පෙර රජ දවසින් පසු අංගසම්පූර්ණ නගරයක් එකට ඉදි කර ජනතාවට භාර කළ ඓතිහාසික ලග්ගල හරිත නගරය ජනතාවට භාර කරලා අද අපි සතුටු වෙනවා. අපේ රටේ ඉතිහාසය ගැන යම් සුළු අවබෝධයක් අපට තිබෙනවා. 1948 නිදහසින් පසු ඩී. එස් සේනානයක මැතිතුමා දියුණු ගොවි ජනපද, සංවර්ධන යෝජනා ක්‍රම ගොඩනැංවීමට පෙරමුණු ගත් බව අපි දන්නවා.

මගේ පියාත් ඒ ගොවිජනපද ව්‍යාපාරයේ ගොවියෙක් බව ඔබ දන්නවා. පරාක්‍රම සමුද්‍රයේ දියකඳෙන් පෝෂණය වූ නිල්වන් කෙත්වතු යායක ආර්ථිකයෙන් පෝෂණය වු ගොවි දරුවෙක් මම. කැත්ත, උදැල්ල, හරකබාන, හොඳට පුරුදු කෙනෙක් මම. ඒ නිසා මගේ ජීවිතය හැඩ ගැසුණේ කෘෂි ආර්ථිකයක් එක්ක. වාරි ශිෂ්ටාචාරයක් එක්ක, මේ මහා සමාජ බලවේගත් සමග. මහවැලිය ගැන කියන විට මහවැලි මහා සැලැස්මේ අපි මේ අවසන් කරමින් සිටින්නේ අවසන් මහා යෝධ ව්‍යාපෘතියයි. කොත්මලේ, වික්ටෝරියා, රන්ටැඹේ, මාදුරුඔය, එය ආරම්භ කිරීමට පෙර පොල්ගොල්ල හැරවුම සිට පංචමහා ජලාශ වල මහා ව්‍යාපෘති රාශියක් අවසන් කරලා මහවැලි මහ සැලැස්මේ අවසන් ව්‍යාපෘතියයි මොරගහකන්ද කළුගඟ.

එදා මෙදා තුර කාලය තුළ මහා ශිෂ්ටාචාරයක් සහ නව මහවැලි ගොවි සංස්කෘතියක් සමග රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න යෝධ කැපකිරීමක් කළ ඉංජිනේරුවන්, කම්කරුවන්, නිලධාරීන් බොහොදෙනෙක් සිටියා. ලංකාවේ පළමුවැනි මහවැලි ඇමති සී.පී.ද සිල්වා මැතිතුමා, මෛත්‍රීපාල සේනානායක, ගාමිණි දිසානායක, ගාමිණි අතුකෝරල ඔවුන් කිසිවිටෙකත් මට අමතක කළ නොහැකියි. සී.පී ද සිල්වා මැතිතුමා හැරුණුවිට අන් සියල්ලන්ම මා ඉතා ළගින් ඇසුරු කර තිබෙනවා. සී.පී ද සිල්වා මැතිතුමා මා ඇසුරු කර නැහැ. පාසල් ශිෂ්‍යයෙක් විදියට, තරුණයෙක් විදියට, ගමේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඒ කාලයෙත් පෙත්සම් ලියාගෙන සී.පී ද සිල්වා මැතිතුමා හමුවෙලා තිබෙනවා.

එදා මෙදා කාලය තුළ ලංකාවේ ප්‍රමුඛතම බහුකාර්ය යෝජනා ක්‍රමය විදියට ජාතික ආර්ථිකය ගොඩනැගීමේ ව්‍යාපෘතිය රටට ඉමහත් වූ ඵලදායී වූ ප්‍රතිඵල රාශියක් ලබා දී තිබෙනවා. සිය දැනුම, බහුශ්‍රැතභාවය, ජාතියේ අනන්‍යතාවය සඳහා පූජාකළ මේ රටේ කීර්තිමත් විශිෂ්ට ඉංජිනේරුවරයෙක් වූ, මහවැලි ව්‍යාපාරයට මහා ශක්තියක් වූ ආචාර්ය ඒ.එන්.එස් කුලසිංහ මහතා මා මෙහිදී විශේෂයෙන් සිහිකළ යුතුයි. 90 දශකයේ අග භාගයේ මොරගහකන්ද කළුගඟ මහා වනාන්තරයට නියෝජ්‍ය ඇමතිවරයෙක් විදියට මාව එක්කගෙන ඇවිත්, මහා ගල් කඳුවල මාව එක්කගෙන ගිහින් ජලාශය මෙතැනයි, උමඟ මෙතැනයි ආදි වශයෙන් මට පෙන්වපු ආචාර්ය කුලසිංහයන්ගේ නමින් මා මොරගහකන්ද ජලාශය නම් කළේ ඔහු වගේ ම මේ රටේ මුළුමහත් තාක්ෂණික සේවයේ සිටින අවංක, රට වෙනුවෙන් කැපවන සියලු ඉංජිනේරුවරුන්ට ගරු කිරීම සඳහා.

අපි අද උදේ මේ වැඬේ පටන්ගත්තා. මම ආරාධනා කළා ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ට. මැති ඇමතිවරුන් රාශියක් ආවා මේ වැඬේට. අද පාර්ලිමේන්තු දවසක්. ඒ නිසා ඒ සියලු දෙනාම ඒ කටයුතු අවසන් කරලා පාර්ලිමේන්තුවට සහභාගීවන්න ගියා. ඒ සියලු දෙනාට මම මගේ ස්තුතිය පළකරනවා මෙම අවස්ථාවට පැමිණ, විවෘත කිරීම් කරලා මටත් ජනතාවටත් ලබාදුන් සහය පිළිබඳව. ඉරිතැලුණ මහ පොළොව තෙත් කළ, ඉරිතැලුණ සිත් සැනසා සිසිල් කළ කළුඟග මොරගහකන්ද මහා ජලාශය අපි ජනතා අයිතියට පත්කළා. 2016-07-25 වනදා අපි කළුගඟේ නිධන් වස්තු තැන්පත් කරලා වේල්ල ඉදිකරන තැන වේල්ලේ වැඩ කටයුතු අවසන් කළා. කළුගඟ හරස්කොට ඉදිවූ මේ මහා ජලාශයේ ධාරිතාව ඔබ දන්නවා අක්කර අඩි දෙලක්ෂයක්. අපි දැනට ජලය නිකුත් කර තිබෙන මොරගහකන්ද ජලාශයේ අක්කර අඩි හාරලක්ෂ හැටදහසක් ධාරිතාවයක් තිබෙනවා. ලංකාවේ විශාලතම ජලාශය සේනානායක සමුද්‍රය, දෙවැනි ජලාශය මේ කළුඟග මොරගහකන්ද බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා.

විශේෂයෙන් මම සඳහන් කරන්නට ඕනෑ මෙම ව්‍යාපෘතිය පිළිබඳව කතා කරන විට ලග්ගල හරිත නගරයට විතරක් අපි රුපියල් කෝටි 215කට වැඩි ප්‍රමාණයක් වියදම් කර තිබෙනවා. අලුත් ගොඩනැගිලි 112 ක් හදලා තියෙනවා. මේ ප්‍රදේශයේ මාර්ග පද්ධතිය හදන්න කෝටි 955කට වැඩියෙන් වැය කරලා තියෙනවා. පානීය ජල යෝජනා ක්‍රමය සදහා ආයෝජනය කෝටි 450කට වැඩියි. මේ මොරගහකන්ද කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතිය යටතේ ඉහළ ඇළහැර, මිනිපේ මහ ඇළ, වයඹ මහ ඇළ මේ වනවිට වැඩ කරගෙන යනවා. මේ සියල්ල සඳහා මුළු ආයෝජන වියදම රුපියල් කෝටි 26000 යි.

මෙවැනි යෝධ ආයෝජනයක් ලංකාවේ කිසිම සංවර්ධන වැඩසටහනකට ආයෝජනයක කර නැහැ. මේ තමයි ලංකාවේ විශාලතම ආයෝජනය රටේ ජාතික සංවර්ධනය සඳහා. මේ තුළ ප්‍රධාන වහයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජීවත්වන ලග්ගල ප්‍රදේශයේ ජනතාවට වගේම පළාත් පහක ජීවත්වන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් සුඛිත මුදිත අනාගතයක් ඔවුන්ට ලබාදීමයි. දුගී භාවයෙන් පෙළෙන මේ රටේ දුප්පතුන්ගේ දුක් කදුළු පිස දමන්නට දුප්පත්කම අප විසින් ජයගත යුතු ප්‍රබලතම අභියෝගය බව ඔබ දන්නවා. දුගී භාවයෙන් නිදහස් වෙන්නට නම් ලංකාවේ දූෂණය, වංචාව, නාස්තිය නැවතිය යුතුයි. ආර්ථික සංවර්ධනය ඇතිවිය යුතුයි. ආදායම් වර්ධනය විය යුතුයි. කෘෂිකර්ම මෙන්ම කාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදන වර්ධනය විය යුතුයි. වේගවත් විය යුතුයි. රටේ උගතුන්, බුද්ධිමතුන් වැඩි සමාජයක් බිහිවිය යුතුයි. ජාතියේ අනාගතය සඳහා උගතුන්ගෙන් පරිපූර්ණ වූ ජාතියක් බිහිවිය යුතුයි. ඒ සඳහායි අපි මේ සියල්ල කැප කරන්නේ. මම මේ උත්සවයට එනවිට මේ පාසලේ පුංචි දරුවෝ මඟේ ළඟට ඇවිත් මාව අල්ලගත්තා. මම ඇහුවා දරුවනේ ඇයි මොනවදා ඔයාලට අඩුපාඩු, අපි අද හොඳ පාසලක් විවෘත කළා නේද කියලා. දරුවෝ කිව්වා පාසල් විවෘත කළා තමයි ඒ වුණාට අපිට ඩෙස් පුටු නැහැ කියලා. අපිට පරිගනක නැහැයි කිව්වා. ක්‍රීඩා උපකරණ නැහැයි කිව්වා.

දෙමව්පියනි ඩෙස් පුටු නම් ඉක්මනින් දෙන්න බැහැ. හදලා දෙන්න ඕනෑ. මම ගිය සතියේ ටෙන්ඩර් එකක් අත්සන් කළා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඩෙස් පුටු හදලා පාසල් වලට දෙන්න. පළාත් සභාවේ හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ තිබෙනවා නම් මම ඉක්මනින් එවනවා. නමුත් මට කියන්න බැහැ එහි තත්ත්වය කුමක්ද කියලා. මාස කිහිපයක් පසුවී හෝ මම ඩෙස් පුටු ටික එවනවා වගේම ඉදිරි සතියක් දෙකක් ඇතුළත ඒ දරුවෝ ඉල්ලපු සියලු දේ මේ පාසලට එවනවා කියන එක මම සදහන් කිරීමට කැමතියි.

අපි මේ හරිත නගරය ගොඩ නගන්නේ කරන්නේ රටේ අනාගතය ගොඩ නගන්නයි. ඒ නිසා හෙට දවස හොඳ දවසක් කරන්න, මේ රටේ දරුවන්ගේ සිහින සැබෑ කරන්න අපි සියලු දෙනා කැපවිය යුතු වෙනවා. අපි මේ ජලය දීලා සැනසෙනවා වගේම මම පැහැදිලිව කියන්නට ඕනෑ සැබෑ ලෙසම සැනසෙන්න පුළුවන් වෙන්නේ උතුරේ ජනතාවගෙත් ජල ප්‍රශ්නය විසඳපු දවසටයි කියන එක. මාස හත අටකට පෙර මුලතිව්, කිළිනොච්චි, මන්නාරම්, වව්නියා ප්‍රදේශවලට ගිය වෙලාවේ ඒ ප්‍රදේශවල ජල ප්‍රශ්නය උග්‍රවෙලා තිබුනා නියඟයක් එක්ක. ඒ ප්‍රදේශවල ජනතාව සතියකට සැරයක් ලොකු ට්‍රැක්ටර්වල නැගලා නාන්න යනවා.

ගම්වල බොන්න වතුර නැහැ අලුතින් වතුර මුදලාලිලා හැදිලා ජල සම්පත් මණ්ඩලයවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන්වත් කිසිදු නිරීක්ෂණයක් පරීක්ෂණයක් නොමැතිව ඔවුන් මහා ලොකු බැරල් වලට වැව් වලින් ජලාශ වලින් ගම් වලට ගෙනල්ලා වතුර විකුණනවා. වතුර බෝතලයක් රුපියල් දෙකත් දහයත් අතර මිළට අලෙවි කරනවා.

එක් පැත්තකින් පානීය ජල හිඟයෙන්, අනෙක් පැත්තෙන් කෘෂි කාර්මික නිෂ්පාදනයට අවශ්‍ය ජලය නැතිකමින් ඔවුන් දුගීභාවයේ අන්තයේ සිටින්නේ. ඒ නිසා මම ජනාධිපති ධුරයට පත් වෙලා වසර 4 ක් සම්පූර්ණ වෙන වේලාවේ නව වසරකට ප්‍රවේශ වෙන වේලාවේ මම පැහැදිලව කියන්නට ඕන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සමෘද්ධිය වගේම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ පුළුල් සමාජ මෙහෙවර ඉටුකිරීමේදී ජාතීන් අතර සමඟිය සංහිදියාව ඇති කරන්නට කළ හැකි සියලු කැපකිරීම් අපි කරනවයි කියන එක. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ පාට අමතක කරලා රට ගොඩනගන්න සියලු දෙනා එකට එකතු විය යුතුයි. පක්ෂ පාට වලින් බෙදිලා හෙට දවසේ කොහොමද බලයට එන්නේ කියන න්‍යාය පත්‍ර නෙමෙයි අවශ්‍ය වෙන්නේ එක් එක් පුද්ගලයින්ගේ න්‍යාය පත්‍ර නෙමෙයි අවශ්‍ය වෙන්නේ රටේ දුගීභාවය, රටේ ආර්ථිකය, විනයගරුක සමාජයක්, අධ්‍යාත්මික සංවර්ධනය පුළුල් කරගත් සමාජයක් ගොඩනගන න්‍යාය පත්‍රය තුළ අවශ්‍ය වන්නේ. ඒ සඳහා සෑම කෙනෙක්ම අවංකව කැපවීමෙන් අධිෂ්ඨානශිලීව එකට එකතු විය යුතුයි.

දේශපාලන පක්ෂ දූෂිත වෙලා, දේශපාලනයේ සිටින බොහෝ නායකයින් දුෂිත වෙලා, දේශපාලනයට අලුතින් ප්‍රවේශ වෙන ප්‍රාදේශීිය සභාවේ මන්ත්‍රීවරයා දුෂිත වෙලා. රට ගොඩනගන්න තිබෙන ඒ අභියෝගය අපි තේරුම් ගත යුතුයි. ජනතාවට ලැබෙන වරම තුළ ජනතාව තීන්දු තීරණ ගැනීමේදී පැහැදිලිව රටට අවශ්‍ය වන්නේ රට ගොඩනගන්න, රටට ආදරේ කරන, පුද්ගලික න්‍යාය පත්‍ර පසෙක තැබූ, දේශපාලන පක්ෂ වල බලය පිළිබඳ න්‍යාය පසෙක තැබූ අවංකව කැපවීමෙන් වැඩ කරන, දේශපාලඥයින් පිරිසක් බව සිහි තබා ගත යුතුය. ඒ නිසා අපිට තිබෙන සම්ප්‍රදායන් සිරිත් විරිත් යහපත් දේ හොඳ දේ අපි ශක්තිමත් කළ යුතුයි, ආරක්ෂා කළ යුතුයි වගේ ම මේ නව තාක්ෂණයත් සමග හෙට දවසේ බිහිවෙන උගත් තරුණ පරපුරට විශේෂයෙන්ම යහපත් අනාගයත් සමග යහපත් රටක් ගොඩනගන්න අපි අලුතින් හිතන්නට ඕන, අලුතින් සැලසුම් කරන්නට ඕන, අලුතෙන් ගමනක් යන්නට ඕන. අලුතෙන් සිතලා, අලුතෙන් සැලසුම් කරලා, අලුතින් ගමනක් යන්න ලබපු නව වර්ෂයේ මේ රටේ සමස්ත ජනතාව අප සමඟ එක්ව අත්වැල් බැදගමුයි කියන ගෞරවනීය ආයාචනය මහවැලි සංවර්ධන ව්‍යාපාරය වගේම රටේ පුළුල් ජාතික ආර්ථිකයක් සඳහා ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක උතුම් ඵලය භූක්ති විඳින්නා සේ එයින් වඩාත් ඵලදායි තත්වයත් ලබාගන්න මේ ව්‍යාපෘතියේ ඉතිරි වැව් 2400 සහ මහා යෝධ ඇළවල් තුනේ කටයුතු සම්පූර්ණ කරගත යුතුයි.

අද කළුගඟ ජනතා අයිතියට පත් කරපු වේලාවේ මං ඉංජිනේරු මහත්තයගෙන් ඇහුවා ජලාශයේ පිරිලා තියෙන ජල ධාරිතාවයේ ප්‍රමාණය කොච්චර ද කියලා එතුමා කිව්වා දැන් පිරිලා තියෙන්නේ 27% කියලා. මම දේවාශිර්වාදය වගේම තෙරුවන් සරණින් ප්‍රාර්ථනා කරනවා ඉදිරි මාස කිහිපය තුළ මොරගහකන්ද ජලාශය සේම පිටාර ගලන්නට කළුගඟ ජලාශයේ ජලය එක් රැස් වී, ස්වභාවධර්මයේ ආශිර්වාදය ලබා, මේ රටේ දුගී දුප්පත්කම තුනී කරන්න නැති කරන්න යහපත් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගන්න දුප්පතුන්ගේ කදුළු පිසදාන්න සෑම කෙනෙකුටම යහපත් ආර්ථිකයක් ඇතිකරන්න ඒ ආශිර්වාදය අපිට ලැබෙන්න කියලා.

අද මේ කටයුතු වලට සහභාගී වී උදේ සිට අපිට ආශිර්වාද කළ වන්දනීය පූජනීය මහා සංඝරත්නය, අනෙකුත් සියලුම පූජකතුමන්ලා සියලු මැති ඇමතිවරු සියලු රාජ්‍ය නිලධාරින් ගම්වාසී සියලු දෙනා පැමිණි ඔබ සැම අනුග්‍රහය සහයෝගය සහභාගීත්වය සහ කැපවිම් කළ සියලු දෙනාටම රජය වෙනුවෙනුත් පෞද්ගලිකවත් මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින් ලැබු 2019 වර්ෂය වඩාත් වාසනාවන්ත සුබවාදී වර්ෂයක් ලෙස රටේ අනාගතයේ ඉදිරියට යන්නට අප සියල්ල එක් වෙමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි.

අනුග්‍රහය: ජනාධිපති මාධ්‍ය ඒකකය