ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) WWV RWP RSP USP ndc psc MPhil

ලේකම් ආරක්‍ෂක අමාත්‍යාංශය , රාජ්‍ය ආරක්‍ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය


ජෙනරල් ජී.ඩී.එච්.කේ ගුණරත්න (විශ්‍රාමික) මහතා වසර 35 කට වඩා වැඩි කීර්තිමත් යුද හමුදා සේවයක් සම්පුර්ණ කරමින් ආරක්‍ෂක හා සිවිල් - හමුදා සම්බන්ධීකරණ ආදී සෑම අංශයකම ප්‍රධාන තනතුරු රාශියක් දරා ඇති අතර ඔහු වර්ෂ 2019 නොවැම්බර් 20 වන දින ආරක්‍ෂක ලේකම් ලෙස රාජකාරි භාර ගන්නා ලදී.

අද්විතීය සොල්දාදුවකු වූ එතුමන් වර්ෂ 2015 සිට 2016 දක්වා යුද හමුදා මූලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරල් සහ වර්ෂ 2008 අප්‍රේල් සිට 2009 ජූලි දක්වා 53 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ අතර අවසන් මානුෂීය මෙහෙයුමේදී සිය සෙබළුන්ට අණ දුන්නේය. 2009 මැයි 19 වන දින පුරා වසර 30 ක් පැවති දෙමළ ඊලාම් විමුක්ති කොටි (එල්ටීටීඊ) ත්‍රස්තවාදය මුළුමනින්ම අවසන් කළ ඊලාම් යුද්ධයේ අදියර IV දී ඔහු ආරක්‍ෂක සේනා මූලස්ථානය වන්නි හි ආඥාපති ලෙස සේවය කළේය.

වර්ෂ 2012 සිට 2015 දක්වා බ්‍රසීලයේ නියෝජ්‍ය තානාපති ලෙස සේවය කර ඇති ජෙනරල් ගුණරත්න 2016 වර්ෂයේදී දී සක්‍රීය හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ ඉහළ තනතුරු හෙබවූ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ලද වසර 35 ක අත්දැකීම් මත පදනම්ව ග්‍රන්ථයන්ද රචනා කර ඇත.

හැඳින්වීම

ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. ඔහු 1981 වර්ෂයේ අගෝස්තු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැඳී සිය මුලික පුහුණුව සහ කමාන්ඩෝ පුහුණුව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිතන්වරයකු ලෙස අධිකාරියට පත්ව 1982 වර්ෂයේ දෙසැම්බර් රජරට රයිෆල් බලකාය වෙත ඇතුලත් කරන ලදී. රජරට රයිෆල් බලකාය විසුරුවා හැරීමෙන් පසුව නවතමයෙන් පිහිටුවන ලද ගජබා රෙජිමේන්තුවේ ආරම්භක නිලධාරියෙකු ලෙස කටයුතු කල අතර ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිළධාරි සහ නිළධාරි අණදෙන ලෙස සේවය කරමින් ලුතිතන් සහ කැප්ටන් යන නිළයන්හි කටයුතු කරන ලදි.

1987 වර්ෂයේදී ඔහු වඩමාරච්චි මෙහෙයුම සදහා සහභාගී වූ අතර 1990 වර්ෂයේදී ඔහු මාන්කුලම් යුද හමුදා කඳවුරේ නිලධාරී අණදෙන ලෙස රාජකාරි කරන අවස්ථාවේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගේ දැඩි ප්‍රහාරයන්ට ලක් විය. එම වර්ෂයේදී ඔහු මේජර් තනතුරට උසස් වීම් ලද අතර පසුව 6 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී ලෙස පත් වන ලදී. ඔහු සිලාවතුර හමුදා කඳවුරේ අණදෙන නිලධාරීව සිටියදී එම කදවුර එල්ටීටීඊය විසින් වටලනු ලැබුවද, එල්ටීටීඊයේ දැඩි ප්‍රහාර මධ්‍යයේ දින කිහිපයක් කඳවුර සාර්ථකව තම භාරයේ තබා ගැනීමට ක්‍රියාකරන ලදී. ක්‍රියාන්විත රාජකාරි නිමාකර පැමිණීමෙන් පසු, එතුමන් භඪ කාර්ය සම්පාදන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ IIවන ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස යුද හමුදා මූලස්ථානයේ සේවය කරන ලදි.

මෙම නිළධාරි 1994 දී ලුතිනන් කර්නල් නිළයට උසස් කිරීමෙන් පසු රිවිරැස මෙහෙයුමේ දී සටන් කළ 6 වන ගජබා රෙජිමේන්තුවට අණදෙන ලදී. ඉන්පසුව, ජයසිකුරු මෙහෙයුම සම්බන්ධීකරණය කිරීම සදහා වූ ඒකාබද්ධ සේවා මෙහෙයුම් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී 1 ලෙස පත් කරන ලදී.

එතුමන් 53 වන සේනාංකයේ සේනාංකාධිපති තනතුර දරන අතර තුර , 55 වන සේනාංකයේ වැඩ බලන සේනාංකාධිපති සහ විශේෂ බලකාය, ගජබා රෙජිමේන්තුව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව යන රෙජිමේන්තුවල රෙජිමේන්තු අධිපති යනාදී අණදෙන තනතුරු දරා ඇත.

ඔහු මදුරාසි විශ්වවිද්‍යාලයෙන් දර්ශනවේදී උපාධිය ලබාගත් අතර බලුකිස්තාන විශ්වවිද්‍යාලයෙන් යුධ කලාව හා විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.

ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා වෙත යුධ පිටියේදී දක්වන ලද නිර්භීතකම සහ සුවිශේෂී නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් දක්‍ෂතා සම්මාන, විශිෂ්ට සේවා පදක්කම්, සංග්‍රාමික පදක්කම් සහ සේවා පදක්කම් පිරිනමා ඇති අතර ඔහු පහත පදක්කම් වලින්ද පිදුම් ලබා ඇත.

නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් ලද පදක්කම් :

  • වීර වික්‍රම විභූෂණය - ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සතුරාට මුහුණදී සිය සගයන්ගේ ජීවිත ආරක්‍ෂා කිරීමේ හෝ සිය බලසේනාවේ අරමුණ මුදුන්පත් කරගැනීම පහසු කරවීමේ අභිප්‍රායෙන් ආත්මාරක්‍ෂාව ගැන නොතකා තමා විසින්ම කරන ලද වික්‍රමාන්විත වූද, අභීතභාවය ප්‍රදර්ශනය කෙරෙන්නා වූද, සෛනික ස්වභාවයේ උත්කෘෂ්ඨ ක්‍රියා වෙනුවෙන් පිරිනමයි.

  • රණ වික්‍රම පදක්කම - තමන් විසින් හෝ සාමුහිකව ස්වේච්ඡාවෙන්ම සතුරු උවදුරුවලට මුහුණපාමින් පෞද්ගලික හෝ සාමූහිකව කරන ලද වීර ක්‍රියාවන් වෙනුවෙන් පිරිනමයි.

  • රණ ශූර පදක්කම - සතුරු උවදුරුවලට මුහුණපාමින් දැක්වූ විශිෂ්ඨ ක්‍රියාවන් අගය කිරීම උදෙසා පිරිනමයි.

ගෞරව සේවා පදක්කම් :

  • උත්තම සේවා පදක්කම - සුවිශේෂී දක්‍ෂතාව, කුසලතාව හා ආදර්ශමත් පැවැත්මක් සහිත නිකැළැල් සේවාකාලයක් ඇති රාජකාරිය සඳහා වූ භක්තිය උදෙසා පිරිනමයි.

  • දේශපුත්‍ර සම්මානය - ක්‍රියාන්විත රාජකාරීන්හි නිරතවීම්වලදී සතුරු ක්‍රියාවලින් රණක්‍ෂිතයට පත්වූ සහ එවැනි තුවාලවීම් අවම වශයෙන් ‘මධ්‍යස්ථ ලෙස බරපතල’ බවට වෛද්‍ය බලධාරීන් විසින් සිදු කරනු ලබන වර්ගකිරීම් උදෙසා පිරිනමයි.

සංග්‍රාමික පදක්කම්:

  • නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම – ශ්‍රී ලංකාවේ නැගෙනහිර කලාපය මුදා ගැනීම සඳහා දියත් කරන ලද නැගෙනහිර මානුෂීය මෙහෙයුමට සහභාගී වූවන් සදහා පිරිනමයි.

  • උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම – ශ්‍රී ලංකාවේ උතුරු කලාපය මුදා ගැනීම සඳහා දියත් කරන ලද උතුරු මානුෂීය මෙහෙයුමට සහභාගී වූවන් සදහා පිරිනමයි.

  • පුර්ණභුමි පදක්කම – උතුරු හා නැගෙනහිර ඉහල යුධ වාතාවරණයක් සහිත මෙහෙයුම් ප්‍රදේශවල මාස 6 කට වැඩි කාලයක් සේවය කර තිබීම.

  • උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම – 1983 ජුලි 23 සිට දින සිට වර්ෂ තුනක එකතු සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ඉහල යුධ වාතාවරණයක් සහිත මෙහෙයුම් ප්‍රදේශවල සේවය කර තිබීම.

  • වඩමාරච්චි මෙහෙයුම් පදක්කම – සක්‍රීය ලෙස වඩමාරච්චි ප්‍රදේශයේ හමුදා මෙහෙයුම සදහා සහභාගී වී තිබීම.

  • රිවිරැස මෙහෙයුම් පදක්කම – වර්ෂ 1995 ඔක්තෝබර් මස 17 වැනි දින සිට වර්ෂ 1995 දෙසැම්බර් මස 05 වැනි දින දක්වා වූ කාලය තුල රිවිරැස මෙහෙයුම 1 සදහා ක්‍රියාකාරීව සහභාගී වී සිටීම.

සේවා පදක්කම් :

  • 50 වන නිදහස් සංවත්සර සැමරුම් පදක්කම

  • ශ්‍රී ලංකා යුද හමුදා 50 වන සංවත්සර පදක්කම

  • ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම

ජෙනරල් ගුණරත්න (විශ්‍රාමික) තුර්කියේ සිවිල් හමුදා සම්බන්ධීකරණය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබා ඇති අතර පහත සඳහන් විදෙස් පුහුණු පාඨමාලාවන් සදහාද සහභාගී වී ඇත:

  • තරුණ නිළධාරි පාඨමාලාව - යුධෝපාය සහ පාබල පාසල, පාකිස්ථානය (1988)

  • කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - සටන් පුහුණු පාසල, ඉන්දියාව (1990)

  • ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - සටන් පුහුණු පාසල, ඉන්දියාව (1999)

  • අණ සහ මාණ්ඩලික පාඨමාලාව - යුද හමුදා අණ සහ මාණ්ඩලික විද්‍යාලය,පාකිස්ථානය (2000)

  • ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන පාඨමාලාව - ජාතික ආරක්‍ෂක විද්‍යාලය, ඉන්දියාව (2011), තවද ඔහු විදේශයන්හි පහත සඳහන් සම්මන්ත්‍රණ හා වැඩමුළු සඳහාද සහභාගී වී ඇත.:

  • දේශසීමා ආරක්‍ෂාව පිළිබඳ නැගෙනහිර හා දකුණු ආසියානු සමුළුව - වොෂිංටන් සහ නව මෙක්සිකෝව, ඇමරිකා එක්සත් ජනපදය (2002)

  • මාරාන්තික නොවන අවි පිළිබඳ වැඩමුළුව - ඩික්සන් වරාය, මැලේසියාව (2008)

  • ක්‍ෂේත්‍ර පුහුණු අභ්‍යාසය - අභ්‍යන්තර මොන්ගෝලියාව, චීනය (2008)

  • ටෝකියෝ ආරක්‍ෂක සංසදය - ජපානය (2008)

  • ආසියා පැසිෆික් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ සමුළුව, සිංගප්පූරුව (2009)

  • මානුෂීය ඩෙමිං පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන - ඇමරිකා එක්සත් ජනපදය - ඇ.එ.ජ.,වොෂිංටන් (2010)

  • ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සිට කසකස්තානය දක්වා උපායමාර්ගික අසල්වාසී සංචාරය (2011)

  • ලෝක හමුදා ක්‍රීඩා සඳහා වන නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී - කොරියානු ජනරජය (2015)

  • ජාත්‍යන්තර ඒකාබද්ධ ආරක්‍ෂාව සහ ආරක්‍ෂක සමුළුව - මොස්කව්, රුසියාව (2016)

ජෙනරල් ගුණරත්න (විශ්‍රාමික) යනු ග්‍රන්ථ ගණනාවක් රචනා කළ දක්‍ෂ ලේඛකයෙකි. ඔහු චිත්‍රානි ගුණරත්න මහත්මිය හා විවාහ වී ඇති අතර එක් දියණියකගේ දයාබර පියෙකු වේ.

රචනා කර ඇති ග්‍රන්ථ :

  • ‘රණමග ඔස්සේ නන්දිකඩාල්' - සිංහල සහ ඉංග්‍රීසි යන භාෂාවන්ටද පරිවර්තනය කර ඇත.

  • ‘කඩොල් ඇත්තු’

  • ‘උත්තර දේවි’

  • ‘ගෝඨාභය’ - සිංහල සහ ඉංග්‍රීසි යන භාෂාවන්ටද පරිවර්තනය කර ඇත.

  • ‘පාතාලයෝ’