ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පා.ම. එල් එල් බී එක්සත් රාජධානිය
එල් එල් එම් ඕස්ට්‍රේලියාව

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය


ගරු. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් 2022 සැප්තැම්බර් 8 වන දින ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී.

මෙම විෂය භාර ගැනීමට පෙර ඔහු 2022 අප්‍රේල් 18 සිට 2022 මැයි 09 දක්වා වරාය සහ නාවික කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

ඔහු කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කරන ලද කෙටි කාලය තුළ දීර්ඝ කාලීන වෙනස්කම් කිහිපයකටම මුල පිරූ අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගෙවීම් ප්‍රතිපත්තිය වෙනස් කිරීම කාලෝචිත පියවරක් ලෙස කැපී පෙනේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අනුගමනය කරන ලද නව ගෙවීම් ක්‍රමය මඟින් ගනුදෙනු එක්සත් ජනපද ඩොලර් වලින් සිදු කිරීමට හැකි විය. එම දීර්ඝ කාලීන වෙනසේ ප්‍රතිඵලයක් ලෙස, වරාය අධිකාරිය මේ වන විට එහි සේවාවන් සඳහා ඇමෙරිකානු ඩොලර් වලින් අයකරමින් සිටින අතර, එය දේශීය ආර්ථිකයට බෙහෙවින් අවශ්‍ය Forex රටට ගලා එනු නොඅනුමානය.

ඉතා ක්‍රියාශීලී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ වැදගත් මැදිහත්වීම් කළ නීති සම්පාදකයන් අතර අමාත්‍ය තෙන්නකෝන් ද ප්‍රමුඛ වේ.

මධ්‍යම පලාතේ ප්‍රභූ දේශපාලන පවුලකින් පැවත එන මෙම තරුණ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ 16 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක ලෙස පත් ව සිටින ලදී.

තෙන්නකෝන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ලැබීය.

ඔහු 2013 සිට 2017 දක්වා මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා, යෞවන කටයුතු, කාන්තා කටයුතු සහ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

දේශපාලනයට පිවිසීමට පෙර ඔහු ඊජිප්තුවේ කයිරෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස විදේශ සේවයේ නිරත විය.

කොළඹ කීර්තිමත් ශාන්ත පීතර විද්‍යාලයේ පාසල් අධ්‍යාපනයෙන් පසු අමාත්‍ය තෙන්නකෝන් එක්සත් රාජධානියට සිය උසස් අධ්‍යාපනය සඳහා යොමු වූ අතර ඔහු එක්සත් රාජධානියේ බකිංහැම් විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය සම්පූර්ණ කළේය. පසුව ඔහු ඕස්ට්‍රේලියාවේ La Trobe විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කළේය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් උසස් පාඨකයෙක්, දක්ෂ කථිකයෙක්, අද්විතීය අවබෝධයක් සහ අත්දැකීම් රාශියක් ඇති පුද්ගලයෙකි.