ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ආරක්ෂක ලේකම් යාපනයේ සංචාරයක

ජුනි 17, 2020

 

යාපනයේ ආරක්ෂක තත්ත්වය සහ කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සහ උතුරු  පළාත තුල යුද්ධ හමුදාවේ දායකත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීම සදහා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මෙම සංචාරය සිදු කර ඇත.

ආරක්ෂක ලේකම්වරයා සමග සංචාරය සදහා එක් වු ඉහළ පෙළේ ආරක්ෂක දූත පිරිසට කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී ඩි වික්‍රමරත්න, යාපනය, මුලතිව්, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්, සේනාංකාධිපතිවරුන්, උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති, උතුරු පළාත් නියෝජ්‍ය පොලිස්පති සහ තවත් නිලධාරින් කිහිප දෙනෙක් අයත් විය.

කොළඹ සිට පැමිණි දුත පිරිස පලාලි ගුවන් තොටුපොලේදී යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

උතුරේ වර්තමාන ආරක්ෂක තත්ත්වය ආරක්ෂක හමුදාවන් විසින් උතුරු පළාතේ කොරෝනා වෛරසය පැතිරීම අවම කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන් වෙත දැක්වූ සහයෝගය,                   මත්ද්‍රව්‍ය උවදුර සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම, මංකොල්ලකෑම් සහ අපරාධ මැඩපැවැත්වීම සඳහා සිදු කල කාර්යභාරය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නියෝජනය කරන නිලධාරීන් ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර තිබේ.

යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ වවුනියා යන දිස්ත්‍රික්ක වල නීතිය හා සාමය පවත්වාගෙන යාම වෙනුවෙන් ආරක්ෂාව තර කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට උපදෙස් ලබා දී ඇත.