මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා උපරිමයෙන්ම කටයුතු කරයි

මැයි 13, 2019

සියලුම පාසල්වලට ආරක්‍ෂාව සැපයීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සිය උපරිමයෙන් කැපවී සිටි. මහජන ආරක්‍ෂාව සහතික කිරීම සඳහා උපරිම ආකාරයෙන් ක්‍රියාකර ඇති බැවින් බියෙන් සැකෙන් තොරව තම එදිනෙදා කටයුතු සිදුකරන ලෙස පොදු ජනතාවගෙන් ඉල්ලා සිටි. බිය වීමට කිසිඳු හේතුවක් නැහැ. ආගමික ස්ථානවල ආගමික කටයුතු පෙර පරිදි සිදුකෙරිණි. දරුවන් පුද්ගලික පන්ති සඳහා ද පෙර පරිදිම සහභාගී වේ. ඊයේ (මැයි 12) සවස කොල්ලූපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කරන ලදී. හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාද මෙම අවස්ථාවට සහභාගී විය.

සඳුදා (මැයි 13) දිනය පිළිබඳව සමාජ මාධ්‍යයන් තුල ප්‍රචාරය වන තහවුරු නොකරන ලද වාර්තා පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ඔවුන්ට ලැබෙන සියලු තොරතුරු පිළිබඳව පුළුල් විමර්ශනයක යෙදෙන බවත් ආරක්‍ෂක අංශ විසින් සියලුම ස්ථානවලට උපරිම ආරක්‍ෂාවක් ලබාදෙන බවත් ය. මෙම තොරතුරු බුද්ධි ඒකක හෝ ආරක්‍ෂක ආයතන විසින් තහවුරු කර නොගත් මූලික තොරතුරු වේ. එසේ වුවත් මහජන ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම සඳහා උපරිම අයුරින් කටයුතු කරනු ඇත.

ගල්කිස්සේදී ආයුධ සමඟ ත්‍රස්තවාදී කණ්ඩායමක් ඊයේ (මැයි 11) සවස අත්අඩංගුවට ගත් බවට සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රචාරය වෙමින් තිබිණි. නමුදු ගල්කිස්සේදී සිදුවුයේ ලද බුද්ධි තොරතුරකට අනුව නීති විරෝධිව සිදුකරනු ලබන විදේශ විනිමය ගණුදෙනු කිරීමේ ස්ථානයක් වැටලිමයි. විදේශ මුදල් තොගයක් නීති විරෝධී ලෙස මෙරට මුදල් වලට හුවමාරු කිරීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාවට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ යුද්ධ හමුදාව සහ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇත. මේ අනුව එක් සැකකරුවෙකු ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් තිදෙනෙකු කිරුළපන, කළුතර සහ කොහුවල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන්ට අයත් වාහන දෙකක් සහ රුපියල් මිලියන 2.5 ක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

බලධාරීන් විසින් මෙම විදේශ මුදල් නෝට්ටු වල සත්‍යතාවය තහවුරු කිරීමටත්, එම මුදල් මෙරටට රැගෙන ආ ආකාරය සහ මුදල් විශුද්ධිකරණයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳවත් විමර්ශනය කරමින් සිටි. මෙම පුද්ගලයන් සහ ත්‍රස්තවාදී කණ්ඩායම අතර කිසිදු සම්භන්ධතාවයක් නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. තවද කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට සමාජ මාධ්‍යවල පැතිරෙන පුවත ද අසත්‍ය බව ඔහු ප්‍රකාශ කළේය. එවැනි අත්අඩංගුවට ගැනීම් කිසිවක් සිදුනොවූ බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

හලාවත නගරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය යුද හමුදාව, නාවික හමුදාව හා විශේෂ කාර්ය බලකායත් සමඟ එක්ව පොලීසිය විසින් පාලනය කර ඇත. එතැන් සිට කිසිදු සිදුවීමක් මේ වනතෙක් වාර්තා වී නොමැති අතර පනවා ඇති ඇඳිරි නීතිය අලුයම 4.00 ට ඉවත් කෙරේ. ප්‍රදේශවාසින් දෙදෙනෙකු අතර ඇති වූ ෆේස්බුක් සංවාදයක් හේතුවෙන් ඒ එක් පුද්ගලයෙකුගේ සාප්පුවක් වටලා ප්‍රදේශවාසීන් කණ්ඩායමක් විසින් ඉරිදා (මැයි 12) උදෑසන වටලා විරෝධතාවයක් සිදුකර තිබේ. මෙම ෆේස්බුක් සංවාදයට සම්බන්ධ කඩහිමියා අත්අඩංගුවට ගෙන ඇත.